අගමැතිවරියගේ හජ් දින සුබ පැතුම් පණිවිඩය

News Express
2 Min Read

හජ් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කියා සිටියේ, අප අතර පවතින විවිධත්වයන් අභිබවා සහෝදරත්වයෙන් සහ සාමූහිකත්වයෙන් නැගී සිටීමේ වැදගත්කම අද දිනයේ අපට අවධාරණය කරන බවයි.

පටු දේශපාලනය පසෙකලා එකිනෙකාට ගෞරව කරන සහජීවනයෙන් යුතු සමාජයක් නිර්මාණය කිරීමට සියදුදෙනා අදිටන් කළ යුතු බවද ඇය කියා සිටියා.

අගමැතිවරියගේ සුබ පැතුම් පණිවිඩය පහතින්,

”පරිත්‍යාගය, සහෝදරත්වය සහ සහකම්පනය පදනම් කරගනිමින් ලෝකවාසී ඉස්ලාම් භක්තිකයන් මහත් හරසරින් සමරන “ඊදුල් අල්හා” හෙවත් හජ්ජි උත්සවය වෙනුවෙන් ශ්‍රී ලාංකික මෙන්ම සමස්ත ලෝකවාසී මුස්ලිම් ජනතාව වෙත මාගේ උණුසුම් සහ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.

හජ්ජි උත්සවය යනු, ඉබ්‍රාහිම් නබිතුමන් තුළ පැවති අසීමිත දේව භක්තිය සහ උතුම් පරිත්‍යාගශීලීත්වය සිහිපත් කෙරෙන ගැඹුරු ආගමික අරුතක් සහිත දිනයකි. තමන් සතු වටිනාම දෑ පවා මානව වර්ගයාගේ යහපත සහ දේව කැමැත්ත උදෙසා කැප කිරීමට ඇති සූදානම මෙම උත්සවය තුළින් ලොවට විදහා දක්වයි.

අද වැනි දිනක අප සැම අවධාරණය කරගත යුතු ප්‍රධානතම කරුණ වන්නේ, අප අතර පවතින විවිධත්වයන් අභිබවා සහෝදරත්වයෙන් සහ සාමූහිකත්වයෙන් නැගී සිටීමේ වැදගත්කමයි. බෙදාගැනීම සහ සහකම්පනය පෙරදැරි කරගත් හජ්ජි උත්සවයේ පණිවුඩය, ශක්තිමත්, සාමකාමී සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ගමනට මහඟු ආදර්ශයකි.

එබැවින්, පටු භේදයන් පසෙක ලා, එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් සහ කරුණාවෙන් කටයුතු කරමින්, සාමය සහ සහජීවනය පිරි සමාජයක් නිර්මාණය කිරීමට අප සැම අදිටන් කරගත යුතුය.

හජ්ජි උත්සවය ඔබ සැමට සතුට, සාමය, සෞභාග්‍යය සහ ආශිර්වාදය උදාවන වාසනාවන්ත දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමි.”

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *