අල්ලස් ලෙස රුපියල් ලක්ෂ 10 ක මුදලක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ ග්‍රාම නිලධාරීවරයෙකු සහ පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවේ සේවය කළ කම්කරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ හානි වූ නිවසක් වෙනුවෙන් රජයෙන් අනුමත වූ රුපියල් ලක්ෂ 50 ක ආධාර මුදලින් රුපියල් ලක්ෂ දහයක මුදලක් මෙම දෙදෙනා අල්ලස් ලෙස ලබා ගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
පැමිණිලිකාරියගේ නිවාස හානිය වෙනුවෙන් රජය මඟින් ලබාදීමට අනුමත කළ ලක්ෂ 50 ක මුදලෙන්, 2026 අප්‍රේල් 10 වන දින පළමු වාරිකය ලෙස රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලබා දී ඇති අතර, සැකකරුවන් විසින් එයින් ලක්ෂ 10 ක මුදලක් මෙලෙස ලබාගෙන තිබෙනවා.
එමෙන්ම ඉදිරියේදී ලබාදීමට නියමිත දෙවන සහ තෙවන වාරික මුදල් නිදහස් කිරීමේදී ද ලක්ෂ 5 බැගින් අල්ලස් ලෙස ඉල්ලා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එළැඹෙන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
