ඩොලරය ඉහළ යාමත් සමග රටේ ඇතිවී ඇති අර්බුද පිළිබඳව සාකච්ඡා කිරීමට වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවිය යුතු බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති අනුර කුමාර දිසානායකට දුරකතනය මගින් දැනුම් දී තිබේ.
ඒ අනුව, ඊට ඉදිරි දින කිහිපය තුළ සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට නියමිත අතර විපක්ෂ නායකවරයාගේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇතැයි ‘ඉරිදා මව්බිමට’ වාර්තා විය.
එමෙන් ම, රටේ පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් හදිසි පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස ද විපක්ෂයේ දේශපාලන පක්ෂ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගෙන් ඉල්ලීමක් කර තිබේ.
කතානායකවරයා සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ ඊයේ (මැයි 22) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබුණි.
මෙහිදී ඔවුන් කතානායකවරයා වෙත මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය X ගිණුමේ සටහනක් තබා තිබේ.
“රුපියල දැඩි පීඩනයකට ලක්ව ඇත. අපට පැහැදිලි පිළිතුරු හෝ සැලසුම් නොමැත. අද අනෙකුත් පක්ෂ නායකයින් සමග එක්ව කතානායකවරයා හමුවී පවතින අර්බුදය පිළිබඳ හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියෙමු. තත්ත්වය නරක අතට හැරීමට පෙර ජනතාවට අවංක සහ ක්ෂණික ක්‍රියාමාර්ග අවශ්‍ය වෙයි.” ලෙස විපක්ෂ නායකවරයා සිය X ගිණුමේ සටහනක් තබා ඇත.
