ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් වාන් දමයි

News Express
1 Min Read

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් මේ වනවිට වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වාරිමාර්ග අධ්‍යක්ෂක ජල කළමණාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී හේරත් මහතා සඳහන් කළේ, අද (13) පෙරවරු 6.00 වනවිට මෙම තත්ත්වය වාර්තා වූ බවයි.

වාන් දමන ප්‍රධාන ජලාශ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගන ජලාශය, බදුල්ල දිස්ත්‍රික්කයේ අඹෙවෙල ජලාශය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මවුආර, ලුණුගම්වෙහෙර, තිස්ස වැව, වීරවිල යෝධ වැව සහ වෙහෙරගල ජලාශ ඇතුළත් වේ.

එසේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹකොළ වැව, උස්ගල සියඹලන්ගමුව, මාගල්ල සහ දැදුරුඔය ජලාශද, මහනුවර දිස්ත්‍රික්කයේ නාලන්ද සහ වෑමැඩිල්ල ජලාශද, මොනරාගල දිස්ත්‍රික්කයේ අලිකොටආර ජලාශය සහ මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැවද වාන් දමමින් පවතී.

විශේෂයෙන් රාජාංගන ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කර තත්පරයට ඝන අඩි 14,000කට අධික ජල ප්‍රමාණයක් කලා ඔයට නිකුත් කෙරෙමින් පවතින බව සඳහන්ය.

එමෙන්ම ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර තත්පරයට ඝන අඩි 4,100කට අධික ජල ප්‍රමාණයක් කිරිඳි ඔයට නිකුත් කෙරෙන අතර, වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර තත්පරයට ඝන අඩි 2,400කට අධික ජල ප්‍රමාණයක් මැණික් ගඟ වෙත මුදාහැරෙමින් පවතී.

මේ හේතුවෙන් පහත්බිම් ප්‍රදේශවල ජනතාව සහ ගංඟා ආශ්‍රිතව ජීවත්වන පිරිස් විමසිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *