අද වනවිට, ආණ්ඩුවට, පොලිසියට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා අල්ලස් කොමිසමට අවශ්‍ය ආකාරයට හැසිරුණේ නැත්නම්, සැකකරුවන් සියදිවි හානිකර ගන්නා තත්ත්වයට පත්වන තුරු බලපෑම් සිදු කරමින් පවතින බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
පොලිසියට අවශ්‍ය ප්‍රකාශය සටහන් කරගන්නා තෙක් සැකකරුවන් නොමරා මරන බවත්, විවිධ බලපෑම් කරන බවයි ඔහු පවසා සිටියේ.
“මහින්දගේ හා නාමල්ගේ නම ප්‍රකාශ කරන” ලෙසට සැකකරුට බලපෑම් එල්ල වී ඇති බවත්, දැන් එම පුද්ගලයා මියගොස් ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළ අතර, මෙයට වග කියන්නේ කවුරුන්ද යන්නත් ඔහු විමසා සිටියා.
මේ ආකාරයේ බලපෑම් නිසා අහිංසක ජීවිත නැතිවන බවත්, යම් වැරැද්දක් සිදු කර ඇත්නම් සාධාරණ පරීක්ෂණයක් සිදු කළ යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.
‘හොරා හොරා’ යැයි ප්‍රකාශ කරමින් විපක්ෂයට දෝෂාරෝපණය කරන බවත්, තමන්ට විරුද්ධව නඩු පවරන බවත්, සමහරුන්ට තර්ජනය කිරීමද සිදු කරන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියා.
උසාවියට කැඳවන විටත්, ප්‍රකාශ සටහන් කර ගැනිමට කැඳවන විටත්, විමර්ශණ සඳහා කැඳවන සෑම අවස්ථාවකදීම තමා ඒ සඳහා සහභාගි වී ඇති බවත්, එයට බියෙන් ‘සැඟවී’ නොමැති බවයි පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පවසා සිටියේ.
