ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් අමෙරිකානු තැපැල් සේවයට සිදු කරන ලද අමෙරිකානු ඩොලර් 626,555 ක මුදල් ගෙවීමක්, තෙවන පාර්ශ්වයක් වෙත බැරවීම පිළිබඳ විමර්ශන පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
එම සිද්ධියට අදාළව කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ මෙම දැනුම්දීම සිදු කළ බවයි වාර්තා වන්නේ.
ගෝලීය වශයෙන් තැපැල් ගනුදෙනු සිදු කිරීමේදී විශ්ව තැපැල් සංගමය මඟින් ඒ සඳහා අදාළ විද්‍යුත් තැපැල් (E-mail) ගිණුම් ලබාදෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පෙන්වා දී ඇති අතර, එසේ තිබියදී ඊට පරිබාහිර විද්‍යුත් තැපැල් ගිණුමක් හරහා මෙම මුදල් ගෙවීම් අවස්ථා දෙකකදී සිදු කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම සිද්ධියට අදාළව විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව ඔවුන් දන්වා සිටි අතර, තැපැල් දෙපාර්තමේන්තුවේ ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට (SLCERT) අවසර ලබාදෙන ලෙසටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීමට අවසර ලබා දුන් අතර, විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
