හදිසියේ මරණයට පත්වුණු ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන තමාගේ මිත්‍රයෙක් බවත්, තමා ඔහුව දුටුවේ ‘දක්ෂ පුද්ගලයෙක්’ ලෙස බවත් සර්වජන බලය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසනවා.
ශ්‍රී ලාංකික දේශපාලනයේ අඳුරු පැතිකඩට ඔහු හසුවූ බව පිළිගත යුතුව ඇති බවත්, ඔහු කිනම් හෝ අවස්ථාවකදී එම අඳුරු පැතිකඩෙහි කොටස්කරුවෙක් වී ඇති බවයි මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත සඳහන් කර සිටියේ.
ඔහු කොතරම් දුරට, කොයි ආකාරයෙන්, කවුරුන් සමග ගනුදෙනු පැවැත්වුවා ද යන කාරණය නීතියෙන් තහවුරු වන තෙක් නිශ්චිතව පැවසිය නොහැකි වුවත්, මෙහි ‘යමක්’ තිබෙන බව පිළිගත යුතුව ඇති බව ඔහු පවසා සිටිනවා.
අවසානයේදී ඔහුට ඇපකරුවන් දෙදෙනෙක් පවා සොයා ගැනීමට නොහැකි වූ බවත්, මෙම සිද්ධියෙන් උගත යුතු පාඩම එය බවයි ඔහු පෙන්වා දෙන්නේ.
අදටත් ක්‍රියාත්මක වන දූෂිත දේශපාලනය සමග ගනුදෙනු කරන සියලුම දෙනා මතක තබාගත යුතු කරුණක් වන්නේ, ඒ ඒ පුද්ගලයින් විසින්, ඒ ඒ ආකාරවලට තමන්ගේ අවශ්‍යතාවයන් පිරිමසා ගන්නා බවත්, ඔබ තනිවුනු මොහොතකදී ඔවුන් කිසිවෙක් ඔබ සමග නැති බව යැයි සර්වජන බලය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර වැඩිදුරටත් සඳහන් කර සිටියා.
