ඉලක්කගත පිරිසකට පමණක් යම් සහනාධාරයක් ලබා දෙන අතරතුර, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඉන්ධන මිල ඉහළ නැංවීමට කටයුතු කළ යුතු බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසනවා.
පවතින වාතාවරණය තුළ ඉන්ධන මිල වැඩි කිරීමට කටයුතු නොකළ හොත්, එය රුපියල අවප්‍රමාණය වීමට සහ උද්ධමනය ඉහළ යෑමට සෘජුවම බලපාන බවයි ඔහු ප්‍රකාශ කළේ.
රජය විසින් මේ වන විට ලබාදෙන ඉන්ධන සහනාධාරය පොදුවේ සියලු දෙනාටම ලැබෙන බවත්, එසේ සිදු නොකර ඉන්ධන සහනාධාරය අවශ්‍යම පිරිස් වෙත පමණක් ලබා දීමට කටයුතු කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නා.
උදාහරණයක් ලෙස බස් රථ සඳහා යම් සහනාධාරයක් ලබාදීම මඟින් බස් ගාස්තු ඉහළ යෑම පාලනය කර ගත හැකි බවයි ඔහු සඳහන් කළේ.
මේ වන විට ලෝක වෙළෙඳපොළ මිල සමඟ සංසන්දනය කිරීමේදී ඩීසල් ලීටරයක් රුපියල් 600කට වැඩි මට්ටමකට පැමිණිය යුතු බවත්, පෙට්‍රල් මිලත් අඩුම තරමින් රුපියල් 20කින් හෝ වැඩි විය යුතු බවත් ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
