භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර නොමැති බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න පවසනවා.
අද (30) දිනයේ දී ‘COPF’ හමුවේ පෙනී සිටීමට නොහැකි බව දන්වමින් හර්ෂණ සූරියප්පෙරුම විසින් ලිපියක් යොමුකර ඇති බවට එම කමිටු සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටිනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරි දිනකදී පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බවයි ඇය සඳහන් කළේ.
ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය සිදු කිරිමට පෙර අදාළ සිදුවීම සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා COPF හමුවේ කරුණු ඉදිරිපත් කිරීම සුදුසු නොවන බවත්, ඔහු COPF කමිටුව හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර නොමැති බවත්, ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව ඔහු ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පෙනී සිටින බවත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් අස්ථානගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර තිබුණු අතර, අද දිනයේ ඒ සඳහා පෙනී සිටීමට නොහැකි බවට ඊයේ පස්වරුවේදී භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම දන්වා තිබුණා.
