මුදල් ඉල්ලා දෙමාපියන්ට බැණ වැදුණු සහෝදරයාව මැරූ මල්ලී අත්අඩංගුවට

News Express
2 Min Read
මුදල් ඉල්ලමින් මවට, පියාට සහ මිත්තණියට පරුෂ වචනයෙන් බැණ වැදුණු සිය වැඩිමල් සහෝදරයාට පිහියෙන් ඇන ඝාතනය කළැයි කියන තරුණයෙකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බොරලැස්ගමුව, ලියනගේ පාරේ පදිංචිව සිටි මොහොමඩ් පයිස් මොහොමඩ් ෆශිල් නමැති 26 හැවිරිදි පරිගණක ක්‍රියාකරුවෙක්.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයා පසුගිය දින කිහිපය පුරාම සිය දෙමාපියන්ගෙන් සහ මිත්තණියගෙන් මුදල් ඉල්ලා නිතර ආරවුල් ඇති කරගෙන තිබූ බවයි.
 (06) රාත්‍රියේ ද මෙම මුදල් ප්‍රශ්නය මුල් කරගනිමින් නිවසේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර, එහිදී සිය වැඩිමල් සහෝදරයා දෙමාපියන්ට සහ මිත්තණියට සිදු කළ දැඩි අපහාස හා බැණ වැදීම් ඉවසාගත නොහැකි වූ තැන, කෝපයට පත් බාල සහෝදරයා පිහියකින් ඔහුට පහර දී ඇතැයි පොලිස් පරීක්ෂණවලින් හෙළිව තිබෙනවා.
ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව සැකකරු විසින්ම බොරලැස්ගමුව පොලිසිය වෙත පැමිණ භාර වී ඇති අතර, තමා මෙම අපරාධය සිදු කළ බවට එහිදී පාපොච්චාරණය කර තිබූ බවයි පොලිසිය පවසන්නේ.
පොලිස් නිලධාරීන් වහාම අදාල නිවෙස වෙත යන විටත් මියගිය තරුණයා නිවස තුළ මුනින් අතට වැටී සිටි බවත්, ඔහුගේ පිට ප්‍රදේශයට, උදරයට සහ දකුණු බාහුවට තියුණු ආයුධයකින් පහරවල් රැසක් එල්ල වී තිබූ බවත් වාර්තා වෙනවා.
මහේස්ත්‍රාත් පරීක්ෂණය නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් සංජය විජේසිංහ සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර, නුගේගොඩ අපරාධ පරීක්ෂණාගාරයේ (SOCO) නිලධාරීන් පැමිණ විද්‍යාත්මක සාක්ෂි ලබාගනු ලැබුවා.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (07) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කලා.
බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *