කැබ් රථයක ගැටී පාපැදිකරුවෙකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ මූලික විමර්ශනයේදී මෙම අනතුර සැලසුම් සහගතව සිදුකළ අනතුරක් බවට නිරීක්ෂණය වී ඇතැයි වාර්තා වෙයි.
සන්දිවේලි පොලිස් වසමේ මොරකොටන්චේන කළුවන්කේණි මාර්ගයේදී ඊයේ (22) උදෑසන පාපැදිකරුවෙකු කැබ් රථයක ගැටී මෙම අනතුර සිදුවී තිබූ අතර අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබුණි.
මරණකරු අවුරුදු 44 ක් වූ පානගමුව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරුගේ බිරිඳ හා දරුවා විසින් මෙම මරණය සැකකටයුතු බවට ප්රකාශ ලබාදී ඇති අතර අනතුර සම්බන්ධ විමර්ශනයේදී මෙය සැලසුම් සහගතව සිදුකළ අනතුරක් බවට නිරීක්ෂණය වී ඇත.
ඒ අනුව අනතුර සම්බන්ධයෙන් වයස අවුරුදු 24 ක් වන කැබ් රථ රියදුරු අනතුරින් පසු පලාගොස් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු හා මරණකරු අතර පැවති පැරණි ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදි අනාවරණය වී ඇත. සන්දිවේලි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
