හැටන්හි අඹුසැමි යුවලක් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කෙරේ

News Express
2 Min Read

හැටන් දික්ඔය නගරයේ වෙළඳසැලක් තුළ තනිවම ජීවත් වූ වයෝවෘද්ධ අඹුසැමි යුවලක් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ, මෙලෙස අමානුෂික ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 82 හැවිරිදි එස්. කාලිමුත්තු සත්තිවේල් සහ ඔහුගේ බිරිඳ වන 82 හැවිරිදි සගුන්තලාදේවි නැමැති යුවල බවයි.

පොලිසිය සැක කරන්නේ කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් මෙම වෙළඳසැල තුළට ඇතුළු වී මොවුන් දෙදෙනා ඝාතනය කර පළා යන්නට ඇති බවටයි.

ඝාතනයට ලක්වූ අඹුසැමි යුවලගේ දරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටින අතර, ඔවුන් විසින් සිය දෙමාපියන්ගේ සුවදුක් විමසීම සඳහා දුරකථන ඇමතුම් ලබා දී ඇති අතර, දිගින් දිගටම එම දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් සැක සිතූ දරුවන් ඒ පිළිබඳව අසල්වාසීන්ට දැනුම් දී තිබෙනවා.

පසුව අසල්වාසීන් පැමිණ අදාළ වෙළඳසැල විවෘත කර පරීක්ෂා කිරීමේදී වැටී සිටි අඹුසැමි යුවලගේ සිරුරු හමුවී ඇති අතර, ඔවුන් ඒ පිළිබඳව වහාම හැටන් පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

මියගිය යුවල දිගු කාලයක් තිස්සේ අදාළ ස්ථානයේ වෙළඳාම් කටයුතු සිදු කර ඇති අතර, මේ වන විට වෙළඳසැල වසා දමා ඔවුන් එහි තනිවම ජීවත් ව සිටි බව හැටන් පොලිසිය මගින් සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර, ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කවුරුන්ද යන්න සහ ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *