ශ්‍රී ලංකාව ආශ්‍රිතව පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින්, ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි අතර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ක තද වැසි ඇති විය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව ද වාර්තා වනවා.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
