ඩිජිටල් හැඳුනුම්පත් ටෙන්ඩරය ගැන වෛද්‍ය චමල් සංජීවගෙන් සැර අනතුරු ඇඟවීමක්

News Express
2 Min Read

ශ්‍රී ලාංකිකයන්ගේ පෞද්ගලික තොරතුරු, ඇඟිලි සලකුණු සහ ඇසේ කළු ඉංගිරියාවේ දත්ත (Biometric Data) විදේශීය සමාගමක පාලනයට නතු කිරීම ජාතික ආරක්ෂාවට මෙන්ම පුද්ගල නිදහසට එල්ල වන මරු පහරක් බව වෛද්‍ය චමල් සංජීව මහතා අවධාරණය කරයි. ඊයේ කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ, මීට පෙර අනුර කුමාර දිසානායක මහතා විපක්ෂයේ සිටියදී ප්‍රශ්න කරන ලද මෙම ටෙන්ඩරයම වත්මන් රජය යටතේ ක්‍රියාත්මක වීමට යාම බරපතල ප්‍රශ්නයක් බවයි.

දත්ත ජාවාරම – අලුත් ලෝකයේ මහා විනාශය

අද වන විට ලෝකයේ විශාලතම ජාවාරම බවට පත්ව ඇත්තේ අවි ආයුධ හෝ මත්ද්‍රව්‍ය නොව “දත්ත ජාවාරම” (Data Trafficking) බව වෛද්‍ය සංජීව මහතා පෙන්වා දෙයි. ශ්‍රී ලාංකිකයෙකුගේ ලේ වර්ගයේ සිට සියලුම ජෛවමිතික තොරතුරු විදේශීය සමාගමක් සතු වීම හරහා ජනතාවගේ සෛවරිත්වය අනතුරේ වැටෙන බව ඔහු පවසයි.

“අද ලෝකයේ බලවත්ම පුද්ගලයා වන්නේ දත්ත හිමිකාරීත්වය දරන පුද්ගලයායි. අපේ ජනතාවගේ පෞද්ගලිකත්වය තෙවන පාර්ශවයක් හරහා ජාත්‍යන්තරව පාලනය වීමට ඉඩ දීමෙන් බරපතල රාජ්‍ය අර්බුද නිර්මාණය විය හැකියි.”

අසාදු ලේඛනගත සමාගමක් සහ බිලියන 40ක අවදානම

මෙම ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් බිලියන 40කට අධිකය. මෙම ටෙන්ඩරය ලබා දීමට සැරසෙන්නේ මීට පෙර වෙනත් රටවල අසාදු ලේඛනගත වූ (Blacklisted) ඉන්දියානු සමාගමකට බවට වාර්තා වන බව පවසන වෛද්‍ය සංජීව මහතා, මෙය තවත් ‘ගල් අඟුරු වංචාවක්’ බඳු මූල්‍ය අක්‍රමිකතාවකට අත වැනීමක් බවට අනතුරු අඟවයි.

දේශීය දැනුම නොසලකා හැරීම

ඩිජිටල් හැඳුනුම්පතක් සකස් කිරීමේ ඉංජිනේරුමය හා තාක්ෂණික හැකියාව ශ්‍රී ලංකාව සතුව තිබියදී, දේශීය විද්වතුන් නොසලකා හරිමින් මෙලෙස විදේශීය සමාගම්වලට අවස්ථාව ලබා දීම බලවත් අසාධාරණයක් බවද ඔහු සඳහන් කළේය.

මෙම සැක සංකා සම්බන්ධයෙන් රජය වහාම සිය ස්ථාවරය ප්‍රකාශ කළ යුතු බවත්, ජනතාවගේ දත්ත වංචාවක් සිදු වුවහොත් එය කිසිදා නිවැරදි කළ නොහැකි වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *