ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 5ක් වංචා කළ නගර සභා සේවකයින් තිදෙනෙක් අත්අඩංගුවට

News Express
1 Min Read

බණ්ඩාරවෙල මහ නගර සභාවට අයත් වෙළඳසැල් කඩ කාමර අටක් දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දෙන බව පවසා, ව්‍යාපාරිකයින්ගෙන් රුපියල් කෝටි පහකට අධික මුදලක් වංචනිකව ලබාගත් එම නගර සභාවේම සේවකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, බණ්ඩාරවෙල පොලිස් අධිකාරී කාර්යාලයේ විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ පිළිබඳව බණ්ඩාරවෙල නාගරික කොමසාරිස් පී. ගජේන්ද්‍ර කුමාර විසින් 2025 වසරේදී කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මූල්‍ය වංචාව 2024 වර්ෂයේදී සිදුව ඇති අතර, සැකකරුවන් විසින් කූඨ ලේඛන සකස් කර ව්‍යාපාරිකයින්ගෙන් මුදල් ලබාගෙන ඇති බව එහිදී අනාවරණය වී ඇති අතර, එලෙස ලබාගත් මුදල් නගර සභාව වෙත ගෙවා නොමැති බවට තහවුරු වී ඇත්තේ.

අත්අඩංගුවට පත්ව ඇත්තේ බණ්ඩාරවෙල ජලාශය පාර, ධර්මපාල මාවත සහ පෙරහෙට්ටිය පට්ටියගෙදර යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 52, 54 සහ 56 යන වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙක්.

අප වාර්තාකරු සඳහන් කළේ, වංචා කරන ලද නිශ්චිත මුදල් ප්‍රමාණය මෙතෙක් තහවුරු වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් විධිමත් විගණනයක් දැනටමත් ආරම්භ කර ඇති බවයි.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *