ඩොලර් මිලියන 550 ක දැවැන්ත මුදලක් ඉන්ධන සඳහා අමතරව වැය කිරීමට සිදු වූයේ වාහන ආනයනය කිරීම නිසා නොව, බාල ගල් අඟුරු මිලදී ගැනීම හේතුවෙන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ, වත්මන් තත්ත්වය අනුව ඩීසල් ලීටරයක් රුපියල් 720කට විකිණිය යුතු වුවත්, එම බර ජනතාව මත නොපටවා භාණ්ඩාගාරය විසින් දරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි.
භාණ්ඩාගාරයේ තිබෙන්නේ ජනාධිපතිවරයාගේ පියාගේ පෞද්ගලික දේපළ නොව, ජනතාවගේ බදු මුදල් බව පෙන්වා දුන් ඔහු, ඉන්ධන පිරිවැය භාණ්ඩාගාරය විසින් දැරුව ද අවසාන වශයෙන් එම බර පැටවෙන්නේ ද ජනතාව මතම බව අවධාරණය කළා.
සැබවින්ම ජනාධිපතිවරයාට මෙම බර මහජනතාව පිට පැටවීමට අවශ්‍ය නැතිනම්, කළ යුත්තේ භාණ්ඩාගාරයෙන් එම පිරිවැය දැරීම වෙනුවට පැලවත්ත පක්ෂ කාර්යාලයේ අරමුදලින් එම පිරිවැය පියවා ගැනීම බව ද ඔහු සඳහන් කළා.
මේ වන විට භාණ්ඩාගාරය පිරී ඉතිරෙනවාටත් වඩා වැඩි වේගයකින් පැලවත්තේ ගිණුම් පිරී ඉතිරී යන බවත්, එම නිසා මෙම පිරිවැය දැරීම ‘පැලවත්තට’ අපහසු නොවන බවත් උදය ගම්මන්පිල වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
