කුලී රථ රියදුරකු කොල්ලකෑමේ සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට

News Express
1 Min Read

වැලිකඩ පොලිස් වසමේදී කුලී මෝටර් රථ රියදුරකු බිය ගන්වා රු. 38,500 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (31) බොරැල්ල ගෝතමීපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් වයස අවුරුදු 24 ක් වන, බොරැල්ල ගෝතමී පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 600 ක් සහ ග්‍රෑම් 12 යි මිලිග්‍රෑම් 360 ක් සොයාගෙන ඇති බව ද පොලීසිය සඳහන් කළා.

මෙම සැකකරුවන් පසුගිය 29 වැනිදා රාජගිරිය දෙස සිට කලපලුවාව දෙසට ධාවනය වූ කුලී මෝටර් රථයකට ගොඩවී, එම රියදුරුගේ රු. 80,000ක පමණ මුදලක් කොල්ල කා තිබෙනවා.

එමෙන්ම ඔවුන් පසුගිය 29 වැනිදාම කලපලුවාව දෙස සිට ඔබේසේකරපුර දෙසට තවත් මෝටර් රථයකින් පැමිණ, එහි රියදුරුගේ ද රු. 40,000 ක මුදලක්, මාලයක් සහ hands-free උපකරණ දෙකක් කොල්ල කා ඇති බවයි අනාවරණය වන්නේ.

එසේම අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු, මීට පෙර රු. 5,500 ක මුදලක් සහ ජංගම දුරකථනයක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් බොරැල්ල පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අයෙක් වනවා.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *