අධිකරණයට පැමිණි බිරිඳට ස්වාමිපුරුෂයාගෙන් මාරක ප්‍රහාරයක්: ගල්ගමුවේදී 37 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට

News Express
1 Min Read
ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට සහභාගී වීම සඳහා පැමිණි කාන්තාවක, ඇයගේ ස්වාමිපුරුෂයා විසින් එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
ගල්ගමුව ප්‍රාදේශීය සභා රථගාල තුළදී මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මොරගොල්ලගම ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි කාන්තාවක්.
මරණකාරිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා අතර පැවති පවුල් ආරවුලක් හේතුවෙන් ඔවුන් දෙදෙනා කළක සිට වෙන්ව ජීවත් වී ඇති අතර, අධිකරණයේ විභාග වන නඩුවකට සාක්ෂි ලබාදීම සඳහා ඔවුන් දෙදෙනාම ඊයේ (24) දින අධිකරණයට පැමිණ සිට ඇතැයි වාර්තා වෙනවා.
එහිදී දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන්, ස්වාමිපුරුෂයා විසින් තියුණු ආයුධයකින් ඇයට පහර දී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව වහාම ගල්ගමුව රෝහලට ඇතුළත් කර ඇති නමුත්, ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.
සිද්ධියට සම්බන්ධ සැකකාර ස්වාමිපුරුෂයා මේ වන විට ගල්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ගල්ගමුව පොලිස් ස්ථානය මගින් ක්‍රියාත්මක වෙනවා.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *