ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් ජනතා අයිතියට පත්කිරීම ඇරඹෙයි

News Express
4 Min Read

මෙරට ජීවත්වන ජනතාවට ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව ‌සෞඛ්‍ය  සේවා රැකවරණ පද්ධතියේ ප්‍රශස්ත ප්‍රතිලාභ වඩාත් සමීපව භුක්ති විදීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා දිවයින පුරා ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ වැඩසටහනේ නියමු ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මධ්‍යස්ථාන 42 ක් ජනතා අයිතියට පත් කිරිම අද 24  දිවයින පුරා දිස්ත්‍රික්ක 21 දී සිදු කෙරිණි.

නියමු ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික්කයේ  කණන්විල සහ හීනටියන්ගල දී අද (24) පස්වරුවේ සිදු විය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන “සුවපත් රටක් උදෙසා” (HEALTHY SRI LANKA) නව්‍ය වැඩසටහන යටතේ මෙම මධ්‍යස්ථාන පිහිටුවීම සිදු වේ.

රෝග හදුනා ගැනීම, ප්‍රතිකාර සහ පාලනය ශක්තිමත් කිරීම සදහා මෙම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ඉවහල් වන බව මෙහිදී  පෙන්වාදුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රටපුරා දිස්ත්‍රික්ක 21 ක මෙවැනි මධ්‍යස්ථාන 42 ක් ආරමිභවීමත් සමග මේ වන විට ආරමිභ වු මධ්‍යස්ථාන ප්‍රමාණය 47 ක් වන බව ද පැවසීය.

මෙම ව්‍යාපෘතිය අද වනවිට ස්ථාවර තත්ත්වයකට පත්ව ඇති බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා ස්ථාපිත ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන සඳහා රටේ ජනගහනයෙන් 247,251 ක ජනතාවක් සම්බන්ධ කරගැනීමට කටයුතු සිදු වන බව ද පැවසීය.

මෙම ව්‍යාපෘතිය සඳහා දැනටමත් රුපියල් මිලියන 1500 ක් මෙවර අයවැයෙන් වෙන් කර ඇති බවත් ඒ අනුව මෙම වසර තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක 19 ක එයටම ආවේණික සැලසුමකින් නව මධ්‍යස්ථාන 25 ක් ආරමිභ කරන බවත්,  ඒ සඳහා රුපියල් මිලියන 750 ක් යොදවන බවද ඉතිරි මුදල් තවත් හදුනාගත් ස්ථානවල සුවතා මධ්‍යස්ථාන 175 ක් ස්ථාපිත කිරිමට පියවර ගනිමින් මෙම වසර තුළ ආරෝග්‍යා සුවතා  මධස්ථාන 250 ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ද පැවසීය.

මෙරට බෝ නොවන රෝග වාර්තාවීම ඉහළ අගයක් ගන්නා බවත්, ඒ පිළිබද නියම සංඛ්‍යා ලේඛණ තවමත් නොවන බවත් පැවසු අමාත්‍ය්‍යවරයා රෝගීන් රෝහල් වලට වාර්තා වන විට ප්‍රතිකාර කළ යුතු මට්ටම අභිභවා ගොස් ඇති බව ද පැවසීය.

එම හේතුවෙන් එම රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නවීන මිල අධික උපකරණ හා ඖෂධ ලබාදීමට සිදුවන බවත්, එවැනි මිල අධික උපකරණ මිල දී ගත්ත ද බෝ නොවන රෝග නිසා සියයට 80 ක සියයට 85 ක ජිවිත අහිමිවන බව ද පැවසීය.

මෙම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන සඳහා මුලික රෝග ප්‍රතිකාර රැසක් එක් උපකරණයකින් සිදු කළ හැකි උපකරණයක් හදුන්වාදීමට ඉදිරියේ දී පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම  නියමු ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 05 ක් 2025 වසරේ ස්ථාපිත කරන ලදි. ගාල්ල දිස්ත්‍රික්කයේ මාපලගම, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇත්ඔය, කළුතර දිස්ත්‍රික්කයේ තල්පිටිය, මහනුවර දිස්ත්‍රික්කයේ පොළගොල්ලවත්ත, මාතලේ දිස්ත්‍රික්කයේ ගන්කන්ද යන ප්‍රදේශවල එම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන පිහිටුවනු ලැබීය.

එම නියමු ව්‍යාපෘතියේ  අත්දැකීම් පාදක කර ගනිමින් මෙම වසර තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි නව  ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 250 ක් ස්ථාපිත කිරිමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර, මේ සඳහා දැනටමත් රුපියල් මිලියන 1500 ක් මෙවර අයවැයෙන් වෙන් කර ඇත.

මෙම අවස්ථාවට කනවිල කන්දේ  ඉත්තෑපාන අමිතසිරි හිමි ඇතුළු මහා සංඝරත්නය, හොරණ සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි විශේෂඥ වෛද්‍ය  නිහාල් අබේසිංහ, කළුතර ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි නන්දන පද්මකුමාර, හොරණ ප්‍රාදේශීය සභාවේ සභාපති නිර්මල ද සිල්වා, හොරණ නගර සභාවේ සභාපති  අනිල් ඉන්දික, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ  ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ප්‍රාථමික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හරිස්චන්ද්‍ර කුමාරවංශ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් (Dr. Rajesh Sambhajirao Pandav), බස්නාහිර පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත්, නියෝජ්‍ය පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුමල් නන්දසේන, කළුතර මහ නගර සභාවේ නගරාධිපති දනුජ් සෝමරත්න, කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නවීන්ද සොයිසා, ප්‍රාදේශීය ලේකම් කේ.ඩී.එස් සජීවනා, කණන්විල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි උමේෂ ධංජය,  හීනටියන්ගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මධ්‍යස්ථානයේ වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය චේතනී  ලක්ෂිකා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *