අලුත් අවුරුදු නැකැත් සීට්ටුවක් සම්පාදනය කිරීම සඳහා ලබන සඳුදා විෂයභාර අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.
අවුරුදු නැකැත් සම්බන්ධයෙන් මේ වන විට මතභේදාත්මක තත්ත්වයක් හට ගෙන ඇති පසුබිමක අවුරුදු නැකැත් සීට්ටුවක් සම්පාදනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ (12) බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පැමිණියා.
කෙසේ වෙතත්, නිවේදනයක් නිකුත් කරමින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම වසර සඳහා අලුත් අවුරුදු නැකත් සම්පාදනයට කණ්ඩායම් දෙකක් ඉදිරිපත් වීම හේතුවෙන් පොදු එකඟතාවකට එළඹීමට අවස්ථා 04ක දී එම කණ්ඩායම් සමග සාකච්ඡා පවැත්වූ බවයි.
කෙසේ වෙතත්, මේ වනතුරු එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වූ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ වනවිට ජනතාව තුළ අවුරුදු නැකැත් පිළිබඳව අවිනිශ්චිතතාවක් උද්ගත වී ඇති අතර, එම නිසා අලුත් අවුරුදු නැකැත් ඒකාබද්ධව සම්පාදනය කිරීමේ සාකච්ඡාව ලබන සඳුදා විෂය භාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
