නේවි සීල් පුහුණුව සම්පූර්ණ කළ පළමු ලාංකික නිලධාරියා වන 28 හැවිරිදි කොයාන් චමිත ජීවිතක්ෂයට

News Express
2 Min Read

ලොව විශේෂ හමුදා වෙනුවෙන් පැවැත්වෙන ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ නාවික විශේෂ සංග්‍රාමික මූලික පුහුණු විධාන‍ය මගින් පවත්වනු ලබන අතිදුෂ්කර මූලික සීල් පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස සීල් පළඳනාව හිමිකරගත් ලුතිනන් කොයාන් චමිත ජීවිතක්ෂයට පත්ව තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් බීබීසී සිංහල වෙත පැවසුවේ ලුතිනන් කොයාන් චමිත වැලිසර නාවික හමුදා කඳවුරේදී මෙලෙස අද (ජනවාරි 28) උදෑසන ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

මරණයට හේතුව මෙතෙක් නිශ්චිත ව ප්‍රකාශයට පත් කර නැත. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් පැවසුවේ මියගිය නිලධාරියාගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය මේ වන විට සිදුකෙරෙමින් පවතින බව ය.

1997 වසරේ ඔක්තෝබර් මස 22 වැනි දා උපත ලැබු ලුතිනන් කොයාන් චමිත, පවුලේ එක ම දරුවා වන අතර ඔහු ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ආදි සිසුවෙකි.

2017 වර්ෂයේ ජූනි මස 30 වැනි දින 60 වැනි ශිෂ්‍යභට බඳවා ගැනීම යටතේ ලුතිනන් කොයාන් චමිත නාවික හමුදාවේ පුහුණුව සඳහා එක්ව තිබේ.

සිය මූලික පුහුණුවෙන් පසු විශේෂ යාත්‍රා බලඝණයේ විශේෂ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කර, 2025 වර්ෂයේ ජනවාරි මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ නාවික විශේෂ සංග්‍රාමික මූලික පුහුණු විධාන‍ය වෙත සීල් පුහුණුව සඳහා අනුයුක්ත විය.

ලුතිනන් කොයාන් චමිත සීල් පුහුණුව සාර්ථකව නිම කිරීමට අදාල සහතික පත්‍රය

ඡායාරූප මූලාශ්‍රය,US Embassy Sri Lanka

ඡායාරූප ශීර්ෂ වැකිය,සීල් ට්‍රයිඩන්ට් පළඳනාව හිමිකරගත් විසිහත් දෙනා අතරට ලුතිනන් කොයාන් චමිත ද ඇතුළත් වේ

ලොව විශේෂ හමුදාවන්ගේ සාමාජිකයන් සඳහා පැවැත්වෙන ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදා සීල් පුහුණුව තුළ සිදුකෙරෙන බහු-අදියර සුදුසුකම් ක්‍රියාවලියේදී දිය යට පුපුරණ ද්‍රව්‍ය, මෙවලම් හෝ යන්ත්‍රෝපකරණ භාවිතයෙන් කෙරෙන මූලික බිදහෙලීම්, උසස් සංග්‍රාමික කිමිදීම්, ගොඩබිම් සංග්‍රාම සහ කුඩා කණ්ඩායම් සංග්‍රාමික උපක්‍රම ඇතුළු සුවිශේෂී අතිදුෂ්කර පුහුණුවක නිරත වීමට ඔහුට සිදුවිය.

එවන් සුවිශේෂී පුහුණුවක් සඳහා අනුයුක්ත වූ දෙසීයක පමණ පුහුණුවන්නන් අතුරින්, සීල් ට්‍රයිඩන්ට් පළඳනාව හිමිකරගත් විසිහත් දෙනා අතරට ලුතිනන් කොයාන් චමිත ද ඇතුළත් වේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *