රණවිරු සැමරුම් පෙරහුරුව පැවති ඊයේ (18) දිනයේදී එම කටයුතුවලට බාධා කළ බවට චෝදනා කරමින්, විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලිසිය පවසනවා.
අද (19) දිනට යෙදී ඇති ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, ඊට අදාළ පෙරහුරුව අද පැවැත්වූ බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කරන්නේ.
මෙම පෙරහුරුව සහ හෙට පැවැත්වෙන ප්‍රධාන උත්සවයේ සෙසු සංවිධාන කටයුතු සිදු වෙමින් පවතින අවස්ථාවේදී, විමල් වීරවංශ ඇතුළු 35 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් පෙරහුරු කටයුතුවලට සහ නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන අයුරින් අනවසරයෙන් රණවිරු ස්මාරක භූමිය වෙත ඇතුළු වීමට උත්සාහ දරා ඇති බව ද එම නිවේදනයේ දැක්වෙනවා.
එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම උත්සාහය ව්‍යර්ථ කර, එහි රැඳී සිටි පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
