රජය විසින් ‘මෙට්රෝ සමාගම’ යැයි ප්රකාශ කළ ද, එය ‘පැරණි ලංගමයම’ පමණක් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
වත්මන් රජය පමණක් නොව සෑම රජයක්ම සිදු කරන්නේ ‘ගණිකාවක් පෝරුවේ තැබීම’ වැනි කටයුත්තක් බවත්, නම වෙනස් කරමින් ‘බොරු වැඩක්’ සිදු කර ඇති බවයි උත්සවයක් අමතමින් ඔහු ප්රකාශ කළේ.
‘ජනතා සන්තක ප්රවාහන සේවය’ යනුවෙන් ද මීට පෙර ලංගම වැඩසටහන් ක්රියාත්මක වූ බවත්, විවිධ ස්වරූපයෙන් එය පැමිණිය ද රටේ ප්රවාහන ක්ෂේත්රය සම්පූර්ණයෙන් විනාශ කළේ ලංගම බවත් ඔහු සඳහන් කළා.
පෞද්ගලික බස් රථ සඳහා කළු පැල්ලමක් ඇති වූයේ ලංගම නිසා බවත්, මීට පෙර ද බස් රථ ගෙන ආ අතර ඒවා දැනට ‘කොට උඩ’ ඇති බවත් සඳහන් කළ ඔහු, රටේ ජනතාවගේ මුදල් මේ ආකාරයෙන් නාස්ති කිරීමට ඉඩ දිය හැකි ද යන්න පිළිබඳ ගැටලුවක් පවතින බවයි පවසා සිටියේ.
එසේම මෙරට පවතින නූතන සංස්කෘතිය අනුව, මිනිසුන් අලුතින් වාහන මිලදී ගන්නා අතර, ඔවුන් ටයි පටිය දමා, ගාම්භීර ලෙස තම වාහනයේ රැකියාවට යාමට රුචිකත්වයක් දක්වන බව ද ඔහු පෙන්වා දුන්නා.
මෝටර් රථය නිවසේ තබා බස් රථයෙන් රැකියාවට ගියහොත්, පසුවදා ඔහුට විවිධ අපහාසවලට ලක් වීමට සිදු වන බවත්, මෝටර් රථ නවත්වා ජනතාව බස් රථවලින් ගමන් කරන බවට සිදු කරන කතා මිත්යාවක් පමණක් බවයි ගැමුණු විජේරත්න වැඩිදුරටත් ප්රකාශ කර සිටියේ.
