එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව අද (12) පස්වරුවේ අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මේ මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ සැකකරු අද කොටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී යි.
ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස සහ එයාර් බස් ගුවන් යානා මිල දී ගැනීමට අදාළ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති ලෙස කටයුතු කරමින් සිට එකී මිල දී ගැනීමේ දී අල්ලස් ලබා ගැනීමේ අරමුණින් තම බිරිඳ ඇතුළුව තවත් අයවළුන් සමඟ කුමන්ත්‍රණය කර සිය බිරිඳ නමින් බෘනායි රටේ ව්‍යාජ සමාගමක් පිහිටුවා එම සමාගම නමින් සිංගප්පූරුවේ බැංකුවක ගිණුම් විවෘත කර අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු විධායක නිලධාරීවරයා අද අත්අඩංගුවට ගැනුණා.
එහිදී, European Aeronautic Defense and Space Company නම් සමාගම වෙතින් යුරෝ 1,454,645.54 ක මුදලක් ලබාගෙන තමාගේ ඔස්ට්‍රේලියාවේ කොමන් වෙල්ත් බැංකුවේ ගිණුමකට සහ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ එවකට අධ්‍යක්ෂවරයෙකු ඇතුළු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු වෙත එම අල්ලස් මුදල් ලබාදීමට කටයුතු කිරීමේ චෝදනා ඔහුට එල්ල වූ බවයි අල්ලස් කොමිසම නිවේදනය කළේ.
