හොරණ, පෝරුවදණ්ඩ ප්රදේශයේ බෝඩිං කාමරයකදී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන්, සවලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ පෝරුවදණ්ඩ, රත්මල්ගොඩ, ධීරානන්ද මාවත ප්රදේශයේ පදිංචිකරුවෙකු වූ ලියනගේ සෝමසිරි නැමති 65 හැවිරිදි පුද්ගලයෙක්.
මියගිය පුද්ගලයා පසුගිය මාස පහක පමණ කාලයක සිට පෝරුවදණ්ඩ, සල්මල් කන්ද, බොරලුගොඩ ලිපිනයේ පිහිටි කාමරයක තාවකාලිකව නවාතැන්ගෙන රැකියාවක නිරතව සිට තිබූ බව පොලිසිය පවසනවා.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම කාමරයේම මාස තුනක පමණ කාලයක සිට නැවතී සිටි තරුණයකු සමඟ 20 වැනිදා සවස ඇති වූ යම් කතාබහක් හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි.
පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා හොරණ දිස්ත්රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කිරිඇල්ල, අල්ලගාව, කළුවාවල තැන්න පදිංචි 28 හැවිරිදි සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පහරදීම සඳහා යොදාගත් සවල ද පොලිස් භාරයට ගෙන ඇති අතර, හොරණ මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා
