රටේ දෛනික බලශක්ති පරිභෝජනය වැඩි ම කාල පරාසය වන පස්වරු 6:00ත් 10:00ත් අතර බැවින් එම කාල පරාසයෙහි බලශක්ති පරිභෝජනය නිසි ලෙස කළමනාකරණය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ඉල්ලීමක් කරයි.
සෑම ක්ෂේත්‍රයක ම සහ සෑම පුද්ගලයෙකුගේ ම දායකත්වය ලබා ගෙන උද්ගතව ඇති අභියෝගය ජය ගැනීමට මනා කළමනාකාරිත්වයෙන් සහ අරපිරිමැස්මෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා අවධාරණය කරයි.
මැද පෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ලෝකයේ සෑම රටක් ම මුහුණ දී ඇති බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අභියෝගය හමුවේ රටක් ලෙස අපි බලශක්තිය මනා කළමනාකරණයකින් යුතුව භාවිත කළ යුතු අතර ඒ වෙනුවෙන් රාජ්‍ය සේවයේ දායකත්වය ලබා ගැනීම සහ තවදුරටත් ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග විමසා බැලීම සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡාවේදී මෙම කරුණු පිළිබඳ අවධානයට යොමු විය.
පළාත් පාලන ආයතන මට්ටමින් බලශක්ති පරිභෝජනය විධිමත් ලෙස කළමනාකරණය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව එම ආයතන සමඟ සාකච්ඡා කරන ලෙස එහිදී ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
