අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්කරුවන් ලබාගත් බවට ප්‍රචාරය කරන්නේ, අදාළ නිලධාරීන් සහ අමාත්‍යාංශ ලේකම්වරයා බේරා ගැනීමේ අරමුණින් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.
මෙම සිදුවීම පද්ධතියකට අනවසරයෙන් ඇතුළු වීමක් නොව, සත්‍ය පාර්ශ්වයක් ලෙස පෙනී සිටිමින් රැවටීමකට ලක් කරන “ෆිෂිං ඇටෑක්” (Phishing Attack) එකක් බවයි අද (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
මෙවැනි දෑ ව්‍යාපාරික ලෝකයේ සාමාන්‍යයෙන් සිදු වන බවත්; මෙම සිදුවීමේදී අදාළ මුදල් ගෙවීම සිදු කර ඇත්තේ ඉහළ සහ පහළ නිලධාරීන් 18 දෙනෙකුගේ පමණ අනුමැතියෙන් පසුව බවත් ඔහු පෙන්වා දුන්නා. එබැවින් අමාත්‍යාංශ ලේකම්වරයා ද මේ පිළිබඳ දැනුවත් විය යුතු බව ඔහු සඳහන් කළා.
රටක මුදල් පාලනය කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බැවින්, විෂයභාර අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුව දැනුවත් කිරීම ඔහුගේ වගකීමක් බව ද ඔහු සිහිපත් කළා.
එසේම රටේ ආර්ථිකයේ කේන්ද්‍රස්ථාන වන මූල්‍ය සහ බලශක්ති ක්ෂේත්‍ර වත්මන් රජය යටතේ හෙන ගසා ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් අවධාරණය කළේ.
