මූල්‍ය වංචා චෝදනා ආවත්, කිසිවෙකුත් ඉල්ලා අස්විය යුතු නෑ. ආණ්ඩුව තද තීන්දුවක!

News Express
1 Min Read

මහ භාණ්ඩාගාරයේ සිදුව ඇති බව කියන මුදල් වංචා චෝදනා සම්බන්ධයෙන් වගකීම භාරගෙන ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු නැති බවට ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ඡාවකදී තීරණය වී තිබේ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ආණ්ඩුවේ ප්‍රබලයින් පිරිසක් අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාවයට පැමිණ ඇති බවයි.

අදාළ මූල්‍ය සිදුවීමේ වගකීම භාරගෙන මුදල් අමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ද වහාම ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවට විපක්ෂය දැඩි චෝදනාවක් සහ බලපෑමක් එල්ල කරමින් සිටින පසුබිමක ආණ්ඩුව මෙම තීරණය ගෙන ඇත.

මීට පෙර සිදුවූ ගල්අඟුරු ගනුදෙනුවට අදාළ සිදුවීමේදී විෂය භාර අමාත්‍යවරයා සහ ලේකම්වරයා සිය ධුරවලින් ඉල්ලා අස්වූ ආකාරයෙන්ම, එම පූර්වාදර්ශය අනුගමනය කරමින් මෙවරද මුදල් අමාත්‍යවරයා සහ ලේකම්වරයා ඉල්ලා අස්විය යුතු බව විපක්ෂය අවධාරණය කර සිටියි.

කෙසේ වෙතත්, පවතින සංකීර්ණ දේශපාලන වාතාවරණය හමුවේ මෙවැනි මොහොතක ඉල්ලා අස්වීම් සිදු කිරීම නුසුදුසු බව ආණ්ඩු පක්ෂයේ මතය වී තිබේ. එහිදී වැඩිදුරටත් අදහස් ප්‍රකාශ වී ඇත්තේ ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය ධුරයෙන් කිසිසේත්ම ඉල්ලා අස්විය යුතු නැති බවයි. එමෙන්ම භාණ්ඩාගාර ලේකම්වරයා සම්බන්ධයෙන් ද ආණ්ඩුව එවැනිම ස්ථාවරයක පසුවන බව වාර්තා වේ.

ඒ අනුව, විපක්ෂයේ දැඩි විරෝධය මධ්‍යයේ වුවද මුදල් අමාත්‍යාංශයේ ඉහළ තනතුරුවල කිසිදු වෙනසක් සිදු නොකිරීමට ආණ්ඩුවේ ප්‍රබලයින් තීරණය කර ඇති බව අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *