එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්දට වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් මතු නොවන අතරම මිල ඉහළ යාම පමණක් සිදුවනු ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
අවුරුදු සමය ආසන්න වෙද්දී වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම සාමාන්‍යයෙන් සිදුවුව ද මැදපෙරදිග කලාපයේ මතුව ඇති යුදමය වාතාවරණයේ බලපෑම් මත දැනටමත් එම මිල ගණන්වල වැඩිවීමක් නීරීක්ෂණය වනවා.
ඒ අනුව, මෙරට ඉන්ධන මිල ඉහළ යෑමත් සමග ආනයනික පරිප්පු, හාල්මැස්සන් සහ පොල්තෙල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇත්තේ පරිප්පු සහ හාල්මැස්සන් හිඟයක් ද පෙන්නුම් කරමින්.
දඹුල්ල පෞද්ගලික තොග වෙළෙඳ සල්වල වෙළෙඳුන් පෙන්වා දෙන්නේ රුපියල් 230 ත් 240 ක් අතර මිලක පැවති පරිප්පු කිලෝවක් මේ වන විට රුපියල් 310 ත් 315 ත් අතර මිලකට අලෙවි වන බවයි.
මේ අතර වෙළෙඳපොළේ බිත්තර සහ කුකුළු මස් මිල ගණන් ද මේ වනවිට ඉහළ මට්ටමක පවතියි.
