අවුරුදු කුමාරි තරගෙට පිඹුරා ගෙන ගිය තරුණිය අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග

News Express
2 Min Read

රාජකීය අවුරුදු කුමරා කුමරිය තේරීම වෙනුවෙන් කොළඹ ප්‍රදේශයේ පැවති උත්සවයකදී හිංසාකාරි අයුරින් පිඹුරෙකු ගෙලේ රඳවාගෙන නර්තනයේ යෙදුණු බව කියන සැකකාර තරුණියක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඩී.ජේ දර්ෂිමා පේමරත්නත්න වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.

එම උත්සවය සංවිධානය කළ බව කියන නිරූපණ ශිල්පි චන්දිමාල් ජයසිංහගෙන් හා එම සිද්ධිය වීඩියෝ ගත කළ කැමරා ශිල්පියාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස ද කොළඹ දිසාව බාර වනජීවී ප්‍රධානියාට අධිකරණයෙන් නියම කෙරුණි.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් පැමිණිල්ල ගොනු කළ වනජීවී දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ, අවුරුදු කුමරා කුමරිය තේරීම වෙනුවෙන් පසුගිය දා කොළඹ රෝයල් මකාස් එළීනා පරිශ්‍රයේදී උත්සවයක් සංවිධානය කර ඇති බව ය.

නිරූපණ ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් සංවිධානය කර තිබූ එම උත්සවයේ පහළොස්වෙනි වටයේ පැවති නර්තන අංගයකදී තරුණියක් උරග වර්ගයේ සතෙකු වන පිඹුරෙකු සිය ගෙලේ රඳවාගෙන එම සතාට හිංසාවක් වන ආකාරයට නර්තනයේ යෙදී ඇති බව ද විමර්ශන නිලධාරින් අධිකරණයට දැනුම් දුන්හ.

මෙම සිද්ධියට අදාළ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා සැකකාරිය හඳුනාගත් බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියහ.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා වනජීවී අංශයට පැමිණෙන ලෙසට ඇයට දැනුම් දීමක් කළ නමුත් ඇය එම එම දැනුම්දීම පැහැර හැර සැඟව සිටින බැවින් ඇය අත්අඩංගුවට ගැනීමත් සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස ද විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලීමක් සිදු කළහ.

එමෙන් ම, එම උත්සවය සංවිධානය කළ නිරූපණ ශිල්පි චන්දිමාල් ජයසිංහගෙන් හා සිද්ධිය වීඩියෝගත කළ කැමරා ශිල්පියාගෙන් ප්‍රකාශ විමර්ශණ ගැනීමට නියෝගයක් ලබා දෙන ලෙසට විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ට ප්‍රකාශයක් ලබා දෙන ලෙස ඔවුන් දෙදෙනාට නියම කළහ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *