කපිල චන්ද්‍රසේන මියගිය නිවසේ CCTV ක්‍රියාත්මක වුවත්, දත්ත ගබඩා වී නැති බව අධිකරණයේදී අනාවරණය වෙයි

News Express
1 Min Read

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සැක කටයුතු ලෙස මියගොස් සිටි, හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාට අයත් නිවසේ ආරක්ෂක කැමරා පද්ධතියේ (CCTV) දත්ත ගබඩා වී නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (14) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

සැක කටයුතු ලෙස මරණයට පත්වූ කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් සිදු කෙරෙන මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම ඊයේ දෙවැනි දිනටත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදු කෙරුණු අතර, එහිදී මෙම කරුණු අනාවරණය වී තිබෙනවා.

ඒ පිළිබඳව, කරුණු වාර්තා කරමින් විමර්ශන නිලධාරීන් කියා සිටියේ, අදාළ නිවසේ ආරක්ෂක කැමරා පද්ධතිය ක්‍රියාත්මක තත්ත්වයේ පැවතිය ද, එහි දත්ත ගබඩා වීමක් සිදු නොවන බව විමර්ශනවලදී අනාවරණය වූ බවයි.

මේ හේතුවෙන් ආසන්න නිවාස දෙකක CCTV කැමරා පද්ධතිවලින් 2026 මැයි 06 වැනිදා සිට මැයි 08 වැනිදා දහවල් දක්වා කාලයට අදාළ දර්ශන සිය භාරයට ගෙන ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

මරණකරු රැඳී සිටි නිවසේ ප්‍රවේශ දොරටු කීයක් තිබේදැයි මහේස්ත්‍රාත්වරයා විමසූ පැනයට පිළිතුරු දෙමින් විමර්ශන නිලධාරියා සඳහන් කළේ, අදාළ නිවසට ඇතුළුවීමට එක් ප්‍රවේශ දොරටුවක් පමණක් ඇති බවයි.

නිවසට ඇතුළු වන සහ පිටවන පුද්ගලයන් සම්බන්ධ දර්ශන දැනට සිය භාරයට ගෙන ඇති CCTV දත්ත පද්ධතිය තුළ ඇතුළත් බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *