පවතින යුදමය වාතාවරණය නිමා කිරීම සඳහා ඉරානය සාකච්ඡා මාර්ගයට අවතීර්ණ වීමට සූදානම් බවට ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ඉඟි පළ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, රුසියානු සහ පාකිස්ථාන රාජ්‍ය නායකයින් සමග පැවැත්වූ දුරකථන සංවාදවලදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ඔහු විසින් ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.
ඉරානයේ ජාතික අයිතිවාසිකම් සහ ස්වෛරීභාවය සම්පූර්ණයෙන්ම පිළිගැනීම, අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ඉරානයේ යටිතල පහසුකම්වලට සිදු වූ දැවැන්ත හානිය සහ ආර්ථික පාඩු සඳහා නිසි ලෙස වන්දි ගෙවීම මෙන්ම, අනාගතයේදී මෙවැනි ආක්‍රමණශීලී ප්‍රහාර නැවත සිදු නොවන බවට ශක්තිමත් ජාත්‍යන්තර නීතිමය සහතික ලබා දීම එම කොන්දේසි වනවා.
බටහිර රටවල් සහ ඊශ්‍රායලය කෙරෙහි තමන්ට කිසිදු විශ්වාසයක් නොමැති බව ද ඉරානය ජනාධිපතිවරයා එම දුරකතන සංවාදයේදී දෙරටේ රාජ්‍ය නායකයින්ට අවධාරණය කර තිබෙනවා.
එවන් පසුබිමක අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, ඉතිහාසයේ ඕනෑම රටකට පහර දුන් ප්‍රමාණයට වඩා දරුණු ලෙස තමන් ඉරානයට පහර දී ඇති බවයි.
එමෙන්ම, තවමත් යුද්ධය අවසන් කර නොමැති බවට ද අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණා.
