පහළ බියගම ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස රැස් කර තබාගන්නා ලද ඩීසල් ලීටර 19,060ක් අඩංගු බවුසර් රථ දෙකක් සමග සැකකරුවන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් මත ඊයේ (11) පස්වරුවේ මෙම වැටලීම සිදු කර ඇති අතර මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20ත් 42ත් අතර වයස්වල පසුවන හෙයියන්තුඩුව, තිහගොඩ සහ නෙළුම්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන්.
සැකකරුවන් විසින් බලපත්‍ර නොමැතිව මාර්ගයේ ගමන් ගන්නා ලොරි රථ, ටිපර් රථ හා ප්‍රයිමුවර් වාහනවලට මුදල් ලබාදී එම රථවල ටැංකිවලින් ඩීසල් ලබාගෙන තිබෙනවා.
අනතුරුව ඔවුන් විසින් සකස් කර ඇති ටැංකිවලට ඒවා ගබඩා කරගෙන අලෙවි කර ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
පොලිසිය සදහන් කළේ, සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී වාහනවලින් ඉන්ධන ලබා ගැනීමට යොදාගත් මෝටර් සවිකර ඇති බට දෙකක්, බැරල් 16ක් සහ මුදලින් රුපියල් 381,000ක් සොයාගෙන බවයි.
