හෝමූස් අර්බුදය හමුවේ බොරතෙල් බැරල් මිලියන 400ක් වෙළඳපොළට මුදා හරී: ඉතිහාසයේ දැවැන්තම හදිසි තෙල් මුදාහැරීම වාර්තා වෙයි

News Express
2 Min Read
මැදපෙරදිග පවතින උණුසුම් යුධමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම පාලනය කිරීම සහ සැපයුම ස්ථාවර කිරීම සඳහා ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) බැරල් මිලියන 400ක දැවැන්ත තෙල් සංචිතයක් මුදාහැරීමට ඒකමතිකව තීරණය කර තිබේ. මෙය ලෝක ඉතිහාසයේ වාර්තා වූ විශාලතම හදිසි තෙල් මුදාහැරීම ලෙස සැලකේ.
සීඑන්එන් ජාත්‍යන්තර පුවත් සේවය මේබව වාර්තා කරමින් සඳහන් කර තිබුණේ, හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) අවහිර වීම නිසා අහිමි වූ ගෝලීය තෙල් සැපයුම පියවා ගැනීම සඳහා මෙම පියවර ගත් බව IEA විධායක අධ්‍යක්ෂ ෆාති බිරෝල් (Fatih Birol) මහතා ප්‍රකාශ කර ඇති බවයි.
“හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා වෙළඳපොළට අහිමි වූ සැපයුම පියවා ගැනීමට අපි බැරල් මිලියන 400ක් ලබා දෙනවා. මෙය වෙළඳපොළ අර්බුදය සමනය කිරීමට ගත් ප්‍රධාන පියවරක් වුවත්, තෙල් සහ ස්වභාවික වායු සැපයුම යථා තත්ත්වයට පත්වීමට නම් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමන් යළි ආරම්භ කිරීම අත්‍යවශ්‍යයි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
මෙම මුදාහැරීම, 2022 වසරේ රුසියානු-යුක්රේන යුද්ධය සමයේදී වෙළඳපොළට නිකුත් කළ බැරල් මිලියන 182ක ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා වැඩි වාර්තාගත අගයකි.
IEA හි මෙම පියවර අතිශය දැවැන්ත එකක් වුවද, හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීමෙන් ඇති වී තිබෙන දැවැන්ත සැපයුම් හිඟය පියවීමට එය ප්‍රමාණවත් වේදැයි ආර්ථික විශ්ලේෂකයෝ ප්‍රශ්න කරනවා.
ලෝකයේ දිනක තෙල් නිෂ්පාදනයෙන් පහෙන් එකක් (1/5) සාමාන්‍යයෙන් ප්‍රවාහනය කරනු ලබන්නේ මෙම සමුද්‍ර සන්ධිය හරහා වුවද, වත්මන් ආරක්ෂක තර්ජන හමුවේ නෞකා ගමනාගමනය නතර වී තිබෙනවා.
‘Energy Aspects’ ආයතනයේ නිර්මාතෘ අම්රිතා සෙන් (Amrita Sen) පෙන්වා දෙන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය තුළ දිනකට සිරවී ඇති තෙල් බැරල් මිලියන 15 ත් 20 ත් අතර ප්‍රමාණය හා සැසඳීමේදී IEA මුදාහරින ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවයි.
ඇයගේ ගණනය කිරීම්වලට අනුව, බැරල් මිලියන 400ක මෙම සංචිතය දින 25ක් වැනි කෙටි කාලයකදී අවසන් වනු ඇත.
මේ හේතුවෙන්, IEA හි මෙම නිවේදනය නිකුත් වීමෙන් පසුව ද ලෝක වෙළඳපොළේ තෙල් මිල සැලකිය යුතු මට්ටමකින් පහත බැස නොමැති බව වාර්තා වේ.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *