QR කේතයට මෙතෙක් එක් වතාවක් හෝ ඉන්ධන ලබා නොගත් වාහනවලට අද (19) දිනයේ ඔත්තේ, ඉරට්ටේ භේදයකින් තොරව තෙල් ලබා ගැනීමේ හැකියාව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා පවසනවා.
එමෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ පවසා සිටියේ වාහන නොවන අංශවලට තෙල් ලබාදීමට වෙනම QR ක්‍රමවේදයක් සකසන බවයි.
පවතින දිගු පෝලිම් පාලනය කිරීම සඳහා හෙට සිට ඔත්තේ, ඉරට්ටේ ක්‍රමය හඳුන්වාදීමට දීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තා.
ඒ අනුව ඉන්ධන සැපයීම සිදු කෙරෙන්නේ වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුවයි.
එම අවසන් අංකය ඔත්තේ ඉලක්කමක් නම් මාසයේ ඔත්තේ දිනයන්වලත්, අවසන් අංකය 0 හෝ ඉරට්ටේ ඉලක්කමක් නම් මාසයේ ඉරට්ටේ දිනවලදීත් ඉන්ධන ලබා ගත හැකියි.
ඒ අනුව ඔබේ වාහනයේ අංක තහඩුවේ අවසන් ඉලක්කම 1, 3, 5, 7, 9 වැනි ඔත්තේ ඉලක්කමක් නම් මාසයේ ඔත්තේ දිනවලදී ඉන්ධන ලබාගත හැකියි.
අංක තහඩුවේ අවසන් ඉලක්කම 0, 2, 4, 6, 8 වැනි ඉරට්ටේ ඉලක්කමක් නම් ඉරට්ටේ දිනයන්හි ඉන්ධන ලබාගැනීමට හැකි වනවා.
අංක තහඩු ලැබී නොමැති වාහන හිමියන් ඉන්ධන ලබාගැනීමේදී සිදුකළ යුතු කරුණු සම්බන්ධයෙන් අද දැනුවත් කිරීමක් සිදුකෙරුණා.
ඒ අනුව අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා අවශ්‍ය අවස්ථාවේදී ආදායම් බලපත්‍රය, ලියාපදිංචි සහතිකය, රක්ෂණ සහතිකය හෝ දුම් පරීක්ෂණ සහතිකය යන ලේඛනවලින් එකක් ඉදිරිපත්කරන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
ප්‍රසම්පාදන කටයුතු හේතුවෙන් පසුගිය කාලය තුළ වාහන අංක තහඩු නිකුත් නොකළ අතර මේ හේතුවෙන් ඇතැම් වාහන හිමියන් විවිධාකාර අංක තහඩු භාවිතා කිරීමට පෙළඹ තිබීම හේතුවෙන් මෙම දැනුම්දීම සිදුකරන බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියා සිටියේ.
