පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ 011 5226126 යන ක්ෂණික දුරකථන අංකය භාවිත කරමින්, කිසියම් පාර්ශ්වයක් විසින් මහජනතාවගේ පෞද්ගලික තොරතුරු ලබා ගන්නා බවට සහ මූල්‍ය වංචා සිදු කරන බවට තොරතුරු වාර්තා වී ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
විශේෂයෙන්ම +94 11 522 6126, +011 522 6126 යන දුරකථන අංක සහ 077 116 7739, 074 275 6098 යන ජංගම දුරකථන අංක මඟින් දෙපාර්තමේන්තු නාමය අවභාවිතා කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙම පිරිස රාජ්‍ය ලාංඡනය යොදා ගනිමින් ජංගම දුරකථන යෙදවුමක් (App) නිර්මාණය කර ඇති අතර, ඩිජිටල් හැඳුනුම්පතක් හෝ ඊ-ජාතික හැඳුනුම්පතක් සඳහා තොරතුරු ලියාපදිංචි කරන බව පවසමින් ජනතාව නොමඟ යවන බව අනාවරණය වී තිබෙනවා.
එවැනි කිසිදු ලියාපදිංචියක් ජංගම දුරකථන යෙදවුම් හරහා තමන් සිදු නොකරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.
මෙලෙස ජංගම දුරකථන මඟින් ලැබෙන සැක කටයුතු ඇමතුම් හෝ පණිවිඩ සඳහා පෞද්ගලික තොරතුරු ලබා නොදෙන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
