සාංඝික දේපළක් මෙන් රකින බවට පැවසූ මහා භාණ්ඩාගාරය නිසි ලෙස රැක්කාදැයි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බව සමගි ජන බලවේගයේ තිස්ස අත්තනායක පවසනවා.
අස්ථානගත වී ඇත්තේ විදේශ ශ්‍රමිකයන් වෙහෙස වී එවන මුදල් බවත්, ජනතාව මත බදු පිට බදු පටවා එකතු කරගත් මහජන මුදල් බවයි ඊයේ (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
මෙම මූල්‍ය අක්රමිකතාව සිදු වී මාස ගණනාවක් යන තෙක් එය රටට ප්‍රකාශ නොකළ බවත්, පවතින තත්ත්වයට මුදල් අමාත්‍යවරයා මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයා ද වගකිව යුතු බවත් ඔහු සඳහන් කළා.
මැතිවරණ සමයේදී ජාතික ජන බලවේගය ප්‍රකාශ කළේ අමාත්‍යාංශයක හෝ ආයතනයක යම් ගැටලුවක් මතු වුවහොත්, අදාළ අමාත්‍යවරයා සහ ලේකම්වරයා වගකීම භාරගෙන ඉල්ලා අස්වන නව දේශපාලන සංස්කෘතියක් ඇති කරන බව යැයි ද, එහෙත් වර්තමානය වන විට එවැනි ක්‍රියාවලියක් දක්නට නොලැබෙන බව ද තිස්ස අත්තනායක වැඩිදුරටත් අවධාරණය කර සිටියා.
