රජයේ පාසල්වලට ගුරුවරුන් 23,000ක් බඳවා ගැනීම සඳහා ඉකුත්දා පැවති ගුරු විභාගයේදී රජයේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන්, රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවෙන් වෙන වෙන ම ප්‍රශ්න පත්‍ර දෙකක් දී ඇති බවත් ඒ තුළ අසමතුලිතතාවක් නිර්මාණය කළ රජය විභාග ගාස්තු ලෙස අපේක්ෂකයන්ගෙන් රුපියල් කෝටි 44ක ලාභයක් උපයා ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කළේ ය.
එම විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයන්ගෙන් විභාග ගාස්තු ලෙස එක් අයකුගෙන් රුපියක් 2700ක මුදලක් එකතු කොට ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
මෙවර විභාගය සඳහා රජයේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන්, රැකියා විරහිත උපාධිධාරීන් ඇතුළුව විභාග අපේක්ෂකයන් එක්ලක්ෂ පනස්දහසකට වැඩි පිරිසක් ඉදිරිපත් වී ඇති නිසා මේ සියලු දෙනා විභාග ගාස්තු ලෙස ගෙවූ මුළු මුදල රුපියල් හතළිස් හතර කෝටි විසිඑක් ලක්ෂය ඉක්මවන බවද ඔහු පැවැසීය.
මෙවර විභාගයෙන් ගුරු සේවය සඳහා බඳවා ගනු ලබන්නේ විසිතුන් දහසක් වැනි සීමිත ප්‍රමාණයක් බව දැන ගන්නට ඇතැයිද හෙතෙම කීය.
මින් පෙර වසරවලදී විභාගය සඳහා පෙනී සිටින සියලුම දෙනාට එකම ප්‍රශ්න පත්‍රයක් ලබා දුන්නද, මෙවර විභාගයේදී සංවර්ධන නිලධාරීන්ට එක් ප්‍රශ්න පත්‍රයකුත්, උපාධිධාරීන්ට වෙනත් ප්‍රශ්න පත්‍රයකුත් ලබාදී ඇති බවට ඔහු චෝදනා කළේය.
උපාධිධාරීන්ට ලබා දුන් ප්‍රශ්න පත්‍රයේ ඇතැම් ප්‍රශ්න විසඳීම අතිශය අපහසු ගැටලු වලින් සමන්විත වුවත්, සංවර්ධන නිලධාරීන්ට ලබා දුන් ප්‍රශ්න පත්‍රය පහසුවෙන් විසඳිය හැකි ගැටලූ බොහෝ ප්‍රමාණයක් පැවැති බවට දයාසිරි ජයසේකර චෝදනා කළේය.
පසුගිය සමයේදී සංවර්ධන නිලධාරීන් ගෙන ගිය විරෝධතාව ජනපති මැදිහත් වීමෙන් සාකච්ජාවක් ලබාදී නවතා දැමූ නිසා ඔවුන්ට යම් සහනයක් ලබාදීම සඳහා මේ අයුරින් ගුරු විභාගයේ ප්‍රශ්න පත්‍රයට යම් කිසි ලිහිල් ස්වභාවයක් ලබා දුන්නේද යන්න සැකයක් මතු වන බව ද ඔහු පැවසීය.
සියලු විභාග අපේක්ෂකයන්ට එක හා සමානව සැලකිය යුතු වුවත්, එකම විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර ද්විත්වයක් ලබාදීම රැකියා විරහිතව සිටිනා උපාධිධාරීන්ට දැඩි අසාධාරණයක් ඇති කළ කාරණයක් බවද ඔහු අවධාරණය කළේය.
