ඉන්දියාව ජන සංගණනයක් අරඹයි: දත්ත රැස් කරන්න නිලධාරීන් මිලියන 03ක්

News Express
2 Min Read

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ප්‍රමාද වූ ඉන්දියාවේ ජන සංගණනය අද (01) දිනයේ දී ආරම්භ වූ අතර නිලධාරීන් මිලියන 3කට අධික පිරිසක් වසරක කාලයක් ඊට අදාළ දත්ත එකතු කිරීමට නියමිතයි.

දශකයකට වරක් පවත්වනු ලබන මෙම ජන සංගණනය 2021 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර, අන්තර්ජාලය හරහා ලියාපදිංචි වීමට කැමති පුරවැසියන් සඳහා කෙටි කාලයක් ලබා දෙමින් එය අද (01) දිනයේදී ආරම්භ වන බවයි එරට රජය පසුගිය දා ප්‍රකාශ කළේ.

ඉන්පසු නිවසින් නිවසට ගොස් සිදුකරන භෞතික සමීක්ෂණ අදියර දෙකක් පවත්වනු ලබන බව එරට සංගණන කොමසාරිස් මෘතුංජේ කුමාර් නාරායන් මාධ්‍ය වෙත පවසා තිබුණා.

මේ අතර එහි පළමු අදියරේදී නිවාස සහ නිවාසවල තත්ත්වයන් ලැයිස්තුගත කෙරෙන අතර, දෙවන අදියරේදී පදිංචිකරුවන් සහ ඔවුන්ගේ ආර්ථික හා සමාජීය පරාමිතීන් පිළිබඳව දත්ත රැස් කෙරෙන බවයි සඳහන් කර ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට අනුව, බිලියන 1.4කට අධික ජනගහනයක් සහිත ඉන්දියාව 2023 වසරේදී චීනයේ ජනගහනය අභිබවා ගොස් ලොව වැඩිම ජනගහනයක් සහිත රට බවට පත් වුණා.

මෙතරම් විශාල ජනගහනයක් සහිත ඉන්දියාව පිළිබඳව, විශ්ලේෂකයින් සහ ආර්ථික විද්‍යාඥයින් අනතුරු ඇඟවීමක් ලෙස නොදකින අතර බොහෝ ප්‍රධාන ආර්ථිකයන් ශ්‍රම බලකාය අඩුවීම සහ වයස්ගත වීම වැනි ගැටලුවලට මුහුණ දී සිටින පසුබිමක, ඉන්දියාවේ පවතින තරුණ ජනගහනය දක්ෂ සේවක පිරිසක් බිහි කිරීමට ලැබුණු අවස්ථාවක් ලෙසයි ඉන්දීය රජය දිගු කලක සිට අගය කර ඇත්තේ.

මේ අතර මෙම සංගණනයේදී කුල පිළිබඳ තොරතුරු ද රැස් කරන බව එරට සංගණන කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබීමත් විශේෂත්වයක්.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *