”ඉරාන නෞකාව ගැන රජය ගත් තීරණය ඉතා හොඳයි” – නාමල්ගෙන් සටහනක්

News Express
1 Min Read

ඉරාන නෞකාවක් වන IRIS Bushier ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ත්‍රිකුණාමලය වරායේ නැංගුරම් ලෑමට අවසර දීම සහ එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 208 දෙනෙකු මානුෂීය හේතූන් මත කොළඹට ගෙන ඒමට ජනාධිපති අනුර කුමාර දිසානායක ගත් තීරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

සිය x සමාජ ගිනුමෙහි සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ පිළිබඳව පවසා සිටියා.

එහිදී මන්ත්‍රීවරයා තැබූ සටහන පහතින්.

“ඉරාන ‘IRIS Bushier’ නෞකාවට දේශීය මුහුදු සීමාවට ඇතුළු වීමටත්, ත්‍රිකුණාමලය වරායේ නැංගුරම් ලෑමටත් අවසර ලබා දෙමින්, එහි කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 208 දෙනා මානුෂීය පදනම මත කොළඹට රැගෙන ඒමට ජනාධිපති අනුර කුමාර දිසානායක ගත් තීරණය අපි සාදරයෙන් පිළිගනිමු.

පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ ජාත්‍යන්තර නීතිවලට අනුකූලව තම වගකීම් ඉටු කරන අතරම, අවශ්‍ය ඕනෑම අවස්ථාවක සිය මානුෂීය ප්‍රතිචාර පවත්වා ගනිමින් ශ්‍රී ලංකාව මධ්‍යස්ථ ස්ථාවරයක සිටීම ඉතා වැදගත් වේ.

ගල්ෆ් කලාපයේ මෙන්ම සමස්ත ලෝකයේම සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා අදාළ සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීමට ශ්‍රී ලංකා රජයට දිගින් දිගටම පියවර ගත හැකි වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

එසේම, ඉන්දියන් සාගරයේ ආරක්ෂාව සහ සමුද්‍රීය සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාව සහ අනෙකුත් කලාපීය හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කිරීම සහ නිරන්තර අධීක්ෂණයක යෙදීම ඉතා වැදගත් වේ.”

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *