ආගමන විගමන නීති උල්ලංඝණය කළැයි හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරනු ලැබ ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන පෙබරවාරි 24 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (16) නියෝග කළා.
ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිමින් ආගමන විගමන පනත උල්ලංඝනය කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අමාත්‍යවරියට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.
ඒ චෝදනා 07ක් යටතේයි. එම චෝදනා හතෙන් එක් චෝදනාවක් සම්බන්ධයෙන් වූ නඩුව අද (16) අධිකරණය හමුවේ විභාගයට නියමිතව තිබුණා.
අද (16) දින නීතිඥවරුන්ගේ වැඩ වැරීම හේතුවෙන් මෙම නඩුවේ සාක්ෂි විභාගය එලෙස කල් තැබුණා.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර ඩයනා ගමගේ සහ සිද්ධියට අදාලව සාක්ෂි ලබාදීමට පැමිණි 21,27,28 සහ 29 වන සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා.
එම සාක්ෂිකරුවන්ට ඉදිරි දින අධිකරණයේ පෙනී සිටින ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා අවවාද කළා.
ඉහත සඳහන් කළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඩයනා ගමගේට එරෙහිව ගොනුකර තිබූ චෝදනා 7 පසුගිය නඩු වාරයේදී අධිකරණය හමුවේ කියවා දුන් අවස්ථාවේදී ඇය එම චෝදනාවන්ට නිවැරදිකාරිය බව ප්‍රකාශ කිරීම සැලකිල්ලට ගනිමින් මෙම නඩු විභාගය ආරම්භ කිරීමට නියමිතව තිබුණා.
එහිදී චුදිතට රුපියල් ලක්ෂ 5ක මුදල් හා රුපියල් මිලියන 10ක ශරීර වටිනා පෙර නියම කළ ඇප දෙකක් මත ඇය මුදා හරින ලෙස පෙර නඩු දිනයේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
චුදිතට එරෙහි චෝදනා වන්නේ, 2016 වසරේ ජූලි මස 14 වැනි දින සිට 2017 ජූලි මස 16 වැනි දින අතර කාලය තුළ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ රැඳී සිටීම, 2018 ජූලි මස 17 දින සිට 2019 ජූලි මස16 දින කාලය අතරතුර වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ රැඳී සිටීම, 2020 ජූලි මස 16 දින හා 2020 නොවැම්බර් මස 1 කාලය අතරතුර වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ රැඳී සිටීම, 2020 ජූලි මස 17 වැනි දින සිට 2020 නොවැම්බර් මස පළමුවැනි දින දක්වා කාලය අතරතුර වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ රැඳී සිටීම, 2014 ජනවාරි මස 20 දින හෝ ඊට ආසන්න දිනකදී බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට අදාළ අයදුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමේදී ආගමන විගමන පාලකවරයාට අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම.
නීතිපතිවරයාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් චුදිට එරෙහිව අධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කළ අතර, නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කළ චුදිතගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අධිකරණ සේප්පුවේ තැබීමට ද මහේස්ත්‍රාත්වරයා පෙර නඩු දිනයේදි නියෝග කර තිබුණා.
බ්‍රිතාන්‍ය පුරවැසිකමක් හිමි ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුසු අයකු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙර නඩු දිනයකදී අධිකරණයට දැනුම් දී තිබුණා.
