මත්කරල් සමග අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙක් දැලේ

News Express
1 Min Read
රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා මත්කරල් තොගයක් සමග අඹුසැමි යුවළක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පානදුර දකුණ මූලස්ථාන පොලිසිය සමත්ව තිබෙනවා.
පානදුර සහ එගොඩඋයන ප්‍රදේශවල පදිංචි අවුරුදු 19, 20 සහ 37 යන වයස්වල පසුවන්නන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට පත්ව තිබුණා.
පොලිසිය පවසන පරිදි, මෙම අඹුසැමි යුවළ පානදුර උඩහමුල්ල ප්‍රදේශයේ රුපියල් 23,000 ක මාසික කුලියට ලබාගත් නිවසක රැඳී සිටිමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා තිබෙනවා.
කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී එම නිවසේ තිබී මත්කරල් 20,000 ක ප්‍රමාණයක් සොයාගැනීමට හැකිවූ බව පොලිසිය පවසනවා.
පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වාගේ උපදෙස් මත, මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකරගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම ක්‍රියාත්මක වුණා.
අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විපුල් අබේසිරි ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් විසින් වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම වැටලීම සඳහා කාන්තා පොලිස් සැරයන් ප්‍රියදර්ශනී (2636), කොස්තාපල්වරුන් වන ටිරෝෂන් (91160), මධුසංඛ (101483), බණ්ඩාරනායක (100014) සහ කාන්තා පොලිස් කොස්තාපල් වාසනා (13222) යන නිලධාරීන් සහභාගී වුණා.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *