අඟුණකොළපැලැස්ස සිරගෙදරදී රැඳවියෙකු ගලින් ගසා මැරූ සිරකරුවන් දෙදෙනාට මරණ දඬුවම

News Express
1 Min Read
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළදී සිරකරුවෙකුගේ හිසට ගලකින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ සිරකරුවන් දෙදෙනෙකුට තංගල්ල මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග අද (05) මරණීය දණ්ඩනය නියම කළා.
මෙසේ මරණ දඬුවම නියම වූයේ කොළඹ, මෝදර වීදියේ පදිංචිව සිටි 40 සහ 49 වයස්වල පසුවන ලහදපුරගේ නිමල් හෙවත් ‘යකඩයා’ සහ කුරුකුලසූරිය බාලපුවඩුගේ බැසිල් මෙන්ඩිස් යන විත්තිකරුවන් දෙදෙනාටයි.
වෙනත් මිනීමැරුම් නඩුවකට අදාළව මරණ දඬුවම නියම වී අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදී මොවුන් දෙදෙනා 2018 නොවැම්බර් 16 වැනිදා මෙම අපරාධය සිදුකර තිබූ බවට අධීකරණයේදී කරුණු හෙළි වුණා.
එහිදී හේවා ඇලපාතගේ මේනක සංජීව හෙවත් ‘උක්කුවා’ නමැති සිරකරුවෙකුගේ හිසට ගලකින් ගසා ඝාතනය කර ඇති බවයි නඩු විභාගයේදී අනාවරණය වුණ‍‍ේ.
සිද්ධිය සම්බන්ධයෙන් අඟුණකොළපැලැස්ස පොලිසිය මගින් මූලික විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු, නීතිපතිවරයා විසින් ඉකුත් 2024 පෙබරවාරි 14 වනදා විත්තිකරුවන්ට එරෙහිව තංගල්ල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණා.
එහිදී පැවති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල සමත්වීම හේතුවෙන් විනිසුරුවරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව, ජනාධිපතිවරයා විසින් මරණීය දණ්ඩනය පමුණු වන තෙක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙස අඟුණකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කෙරුණා.
නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ එරංග යකන්දාවල පැමිණිල්ල මෙහෙය වනු ලැබුවා.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *