ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ ‘නිපා’ (Nipah) වෛරසය ආසාදනය වූ රෝගීන් පස් දෙනෙකු හමුවීමත් සමඟ තායිලන්තය, නේපාලය සහ තායිවානය ඇතුළු ආසියානු රටවල් කිහිපයක් සිය ගුවන්තොටුපොළවල සෞඛ්‍ය පරීක්ෂණ දැඩි කර තිබේ.
කොවිඩ් වසංගත සමයේ පැවති පරීක්ෂණ ක්‍රමවේදයන් යළිත් ක්‍රියාත්මක කරමින්, උණ සහ අනෙකුත් රෝග ලක්ෂණ පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති අතර සැකකටයුතු මගීන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.
බටහිර බෙංගාලයේ රෝහලක් තුළ වෛද්‍යවරුන් සහ හෙදියන් පිරිසකට ද වෛරසය ආසාදනය වී ඇති අතර මේ වන විට පුද්ගලයින් 100කට අධික පිරිසක් එරට නිරෝධායනයට ලක් කර තිබේ.
තායිලන්තයේ ප්‍රධාන ගුවන්තොටුපොළවල බටහිර බෙංගාලයේ සිට පැමිණෙන මගීන් විශේෂ පරීක්ෂාවකට ලක් කරන අතර සංචාරකයින් සඳහා ‘සෞඛ්‍ය අවදානම් පත්’ (Health Beware Cards) නිකුත් කිරීමට පියවර ගෙන ඇත.
නේපාල රජය ද ඉන්දියාව සමඟ පවතින දේශසීමා සහ කත්මණ්ඩු ගුවන්තොටුපොළේ සෞඛ්‍ය පරීක්ෂණ දැඩි කර ඇති අතර තායිවානය මෙම වෛරසය ඉතා භයානක ගණයට ඇතුළත් කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිපා වෛරසය මාරාන්තික වසංගතයක් වීමේ හැකියාව පවතින රෝගයක් ලෙස නම් කර ඇති අතර, මෙහි මරණ අනුපාතය සියයට 40 සිට 75 දක්වා ඉතා ඉහළ අගයක් ගන්නා බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි

නිපා වෛරසය යනු කුමක්ද?
නිපා වෛරසය ඌරන් සහ වවුලන් වැනි සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය විය හැකිය.
වෛරසය ආසාදනය වූ ආහාර මගින් හෝ පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට මෙය පැතිර යා හැකිය.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිපා වෛරසය ප්‍රමුඛතා රෝග දහය අතරට කොවිඩ්-19 සහ සිකා වැනි රෝග කාරක සමඟ විස්තර කර ඇත.
එයට හේතුව ලෙස, මෙම රෝගය වසංගතයක් ඇති කිරීමේ අවධානමක් ඇති වීමට ඉඩ ඇති බව සඳහන් වෙයි.

වෛරසයේ රෝග ලක්ෂණ මොනවාද?
වෛරසය ආසාදනය වූ ඇතැම් පුද්ගලයින්ට රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර ඇතැම් අවස්ථාන් වලදී කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බව කියවේ.
මෙහි මූලික රෝග ලක්ෂණ අතර උණ, හිසරදය, මාංශ පේශි වේදනාව, වමනය සහ උගුරේ අමාරුව ඇතුළත් විය හැකිය.
ඇතැම් පුද්ගලයින් තුළ, නිදිමත ගතිය, සිහිය වෙනස් වීම සහ නියුමෝනියාව ඇති විය හැකි බවද සඳහන් වෙයි.

වෛරසයේ අතීත තත්ත්වය
මෙම වෛරසය පළමු වරට පැතිරීම 1998 දී මැලේසියාවේ ඌරු ගොවීන් අතර සිදු වූ අතර පසුව අසල්වැසි සිංගප්පූරුවට ද ව්‍යාප්ත වී තිබේ.
වෛරසයට එහි නම ලැබී ඇත්තේ එය මුලින්ම සොයාගත් ගම්මානයෙන් බව සඳහන් වෙයි.
වෛරසයෙන් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර, ඌරන් මිලියනයක් මරා දමා ඇති බව සඳහන් වෙයි.
මෑතකදී, දකුණු කේරළ ප්‍රාන්තය නිපා රෝගයේ උණුසුම් ස්ථානයක් බවට පත්ව ඇත.
2018 දී රෝගීන් 19ක් වාර්තා වී ඇති අතර ඉන් 17 ක් මිය ගොස් ඇත.
2023 දී, රෝගීන් හයක් වාර්තා වී ඇති අතර ඉන් දෙදෙනෙකු මිය ගොස් ඇත.
වෛරසයේ වර්තමාන තත්ත්වය
පසුගිය සතිය වන විට රෝගීන් පස් දෙනෙකු වාර්තා වී ඇති අතර, ඔවුන් සියල්ලන්ම බරසාත් හි පෞද්ගලික රෝහලකට සම්බන්ධ පුද්ගලයින් බව සනාථ වී ඇත.
හෙදියන් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබන අතර, ඉන් එක් අයෙකු “ඉතා අසාධ්‍ය” තත්ත්වයේ පසුවන බව එරට ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසා තිබේ.
