දැනට කල් තබා ඇති පළාත් සභා මැතිවරණය පෙර පැවති ක්‍රමයට පැවැත්වීමට අදාළ යෝජනාවකට දේශපාලන පක්ෂ සහ නිරීක්ෂණ සංවිධාන 41ක් කැමැත්ත පළ කර තිබෙනවා.
ඒ පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම සහ එම ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡා කිරීමට පැෆ්රල් සංවිධානය සහ දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් ඊයේ (26) කොළඹ පැවති විශේෂ සාකච්ඡාවේදීයි.
එහිදී එක් පක්ෂයක් හැර අනෙක් පිරිස ඊට කැමැත්ත පළ කළ බවයි පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කළේ.
මෙම සාකච්ඡාවට ජාතික ජලබලවේගය, සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, දෙමළ ප්රගතිශීලි සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂ රැසක ලේකම්වරු සහ නියෝජිතයින් එක්ව සිටියා.
මේ අතර, කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට ඊයේ එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ද ප්‍රකාශ කළේ අදාළ නීතිමය ප්‍රතිපාදන කඩිනමින් සලසා දෙන්නේ නම් හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම රජයේ අපේක්ෂාව බවයි.
