වත්කම් බැරකම් ප්‍රකාශ පිළිබඳ නිවැරදි නොවන දැනුවත් කිරීම් ගැන අල්ලස් කොමිසමෙන් දැනුම්දීමක්

News Express
2 Min Read

මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය මඟින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම පිළිබඳව විවිධ බාහිර පාර්ශ්වයන් විසින් සිදු කරනු ලබන නිවැරදි නොවන දැනුවත් කිරීම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු තැනැත්තන් සඳහා වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ස්ථාපිත කර ඇති මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය පිළිබඳවත්, එම පද්ධතියට තොරතුරු ඇතුළත් කිරීම සහ පද්ධතියට ප්‍රවේශ වීම පිළිබඳවත් කොමිෂන් සභාවේ නිලධාරීන් නොවන වෙනත් පුද්ගලයන් විවිධ දැනුවත් කිරීම් සිදු කරන බව මේ වන විට නිරීක්ෂණය වී ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

මෙලෙස සිදු කරනු ලබන දැනුවත් කිරීම්වලදී, අදාළ පුද්ගලයන් විසින් නිවැරදි නොවන තොරතුරු සහ මෙම ඉලෙක්ට්‍රොනික පද්ධතියේ භාවිතය පිළිබඳ නිවැරදි නොවන ක්‍රමවේදයන් සන්නිවේදනය කරන බව ද කොමිෂන් සභාවට නිරීක්ෂණය වී තිබෙනවා.

එබැවින් කොමිෂන් සභාව හෝ එහි නිලධාරීන් නොවන වෙනත් බාහිර පුද්ගලයන් විසින් සිදු කරනු ලබන එවැනි දැනුවත් කිරීම් පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වගකීමක් නොදරන අතර, වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට තොරතුරු ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලු, කොමිෂන් සභාවේ වත්කම් බැරකම් ප්‍රකාශ අංශයේ 076 701 1954 සහ 011 258 7284 යන දුරකථන අංක මඟින් පමණක් නිරාකරණය කර ගත හැකි බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *