කළුතර මහෙස්ත්රාත් අධිකරණය විසින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ රැඳවියෙකු, බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
අද (10) පස්වරුවේ සිදුවූ මෙම සිදුවීමෙන් පලාගොස් ඇත්තේ කළුතර උතුර, වස්කඩුව ප්රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.
කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (09) වස්කඩුව ප්රදේශයේදී හෙරොයින් මත්කුඩු මිලිග්රෑම් 2330ක් සමඟ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
අනතුරුව කළුතර උතුර පොලිසිය මගින් මෙම සැකකරු අද (10) දින අධිකරණයට ඉදිරිපත් කළා.
නඩුවට ඉදිරිපත් වීමෙන් පසු සැකකරු රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්රාත්වරයා නියෝග කළ අතර, ඒ අනුව පොලිසිය විසින් ඔහුව බන්ධනාගාර නිලධාරීන් වෙත භාර දී තිබුණා.
එම අවස්ථාවේදී නිලධාරීන්ගෙන් මිදී දැඩි වේගයකින් දිවගිය සැකකරු අධිකරණ භූමියෙන් පිටතට පැන කළුතර නගරය දෙසට පලාගොස් සැඟවී ඇති බවයි වාර්තා වන්නේ.
