චීනයේ Xpeng සමාගම ලබන වසරේ සිට ‘පියාඹන’ මෝටර් රථ නිෂ්පාදනයට

News Express
2 Min Read

චීනයේ විදුලි වාහන (EV) නිෂ්පාදකයෙකු වන Xpeng සමාගම සිය “පියාඹන” මෝටර් රථ නිෂ්පාදනය ලබන වසරේදී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව එම සමාගමේ සභාපති බ්‍රයන් ගු (Brian Gu) රොයිටර් පුවත් සේවයට පවසා තිබෙනවා.

එසේම මානව හැඩැති රොබෝවරුන්ගේ (humanoid robots) නිෂ්පාදනය මෙම වසරේ සිව්වන කාර්තුවේදී ආරම්භ කිරීමට ද අපේක්ෂා කරන බවටයි ඔහු සඳහන් කර ඇත්තේ.

එමෙන්ම මේ හරහා ජර්මානු මෝටර් රථ නිෂ්පාදකයෙකු වන වොක්ස්වැගන් (Volkswagen) සමාගම සමග සහයෝගීතාව ඉහළ නැංවීමට විශාල හැකියාවක් පවතින බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

වෙනත් මෝටර් රථ නිෂ්පාදකයින් සමග හවුල්කාරිත්වයන් ඇති කර ගැනීමට ද Xpeng විවෘතව පවතින බවටයි සභාපතිවරයා සඳහන් කර ඇත්තේ.

Xpeng සමාගම දැනටමත් සිය පියාඹන මෝටර් රථ සඳහා ඇණවුම් 7,000කට වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇති අතර, ඉන් බහුතරය චීනයෙන් ලැබුණු ඒවා බව සඳහන්.

එසේම එරට ගුවන් සේවා බලධාරීන්ගෙන් අනුමැතිය ලබා ගැනීමට සමාගම මේ වන විට කටයුතු කරමින් සිටින බවයි සභාපතිවරයා සඳහන් කර ඇත්තේ.

රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් වැඩිදුරටත් ඔහු පවසා ඇත්තේ, ඔවුන්ගේ සමාගම මෙම වසරේදී චීනයේ ගුවැන්ෂු (Guangzhou) නගරයේදී රොබෝ ටැක්සි (robotaxi) පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බවත්, හවුල්කරුවන් සමග ලොව පුරා පරීක්ෂණ පැවැත්වීම සඳහා 2027 වසර තීරණාත්මක වසරක් වනු ඇති බවත්.

ඉදිරි මාස 12 සිට 18 දක්වා කාලය තුළ රොබෝ ටැක්සි සිය ගණනක් හෝ දහස් ගණනක් නිෂ්පාදනය කිරීමට සිය සමාගම බලාපොරොත්තු වන බව ද ඔහු පවසා තිබෙනවා.

එම සමාගමේ මානව හැඩැති රොබෝවරුන් මූලික වශයෙන් පිළිගැනීමේ නිලධාරීන් ලෙස හෝ පාරිභෝගිකයින් සමග අන්තර් ක්‍රියා කිරීම සඳහා අලෙවි අංශය සඳහා භාවිත කරනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *