ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය -නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න-

News Express
2 Min Read

විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය පිළිබඳ සිදුකරන පරීක්ෂණවල ප්‍රගතියක් ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.

මෙරට මහා භාණ්ඩාගාරය විසින් විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ මෙම මුදල පරිගණක හැකර්වරු අතට පත්වීමේ සිද්ධිය මේ වනවිට රට තුළ දැඩි ආන්දෝලනයක් මතුකර තිබේ.

ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් ද මේ වනවිට සිදු කෙරෙන අතර ඊට අදාළ සාකච්ඡා වට කිහිපයක්ම මුදල් අමාත්‍යාංශයේදී ඊයේ (24) පැවැත්වුණි.

සුරක්ෂිතභාවය වෙනුවෙන් මෙරට ප්‍රධාන ආයතන 37ක් සම්බන්ධ කරමින් විශේෂ ආරක්ෂණ පද්ධතියක් ද මේ වනවිට නිර්මාණය කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේය.

ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නවතම තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇති බවය.

මෙම වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළේය,

“මේක ගිහින් තියෙන්නේ බැංකු හරහා. බැංකු පද්ධතියෙන් එළියේ සිදුවූ ගනුදෙනුවක් නෙමෙයි. පරික්ෂණවල ප්‍රගතියක් තියෙනවා. මොකක්ද වෙලා තියෙන්නේ කියන එක අපි මේ වෙනකොට අවබෝධ කරගෙන තියෙනවා. ඒක යම්කිසි කාලයක් රහසිගතව තියාගන්න ඕනේ.  මොකද ඩිජිටල් ලෝකයේ මුදල් කියන එක ඉතාමත් ඉක්මනින් එහාට මෙහාට යන්න පුළුවන්. කරපු පුද්ගලයන් මාරු වෙන්න පුළුවන්. සාක්ෂි මකා දමන්න පුළුවන්. ඒ නිසා යම් සුරක්ෂිතභාවයක් තියාගන්න ඕනේ පරීක්ෂණ හරියට කරන්න. අපි අලුත් දේවල් සෑහෙන්න ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා.”

“ඩිජිටල් පද්ධතිය සුරක්ෂිතව තබාගැනීම සියල්ලන්ගේම වගකීමක්. සුරක්ෂිතව ඩිජිටල් පද්ධති භාවිතය ගැන සේවකයින් දැනගත යුතුයි. මුදල් ගනුදෙනුවලදී නිවැරදිභාවය පරීක්ෂා කළ යුතුයි.”

“මෙතනදි අපි දකින්නේ ඩිජිටල් පද්ධති හැක් වුණාට වඩා එහා ගිය දෙයක්.. විදෙස් සමාගමට සමානවම නම්, EMAIL හදලා නොමඟ යවලා. ආයතනයේ තුළ සිටින අයගේ සම්බන්ධයක් නොමැතිව සිදුවූ දෙයක්. වෙනස අවබෝධ නොවීම තුළ ඇතිවූ ප්‍රශ්නයක්.”  

“නීතිය ක්‍රියාත්මකවීමට නම් පරීක්ෂණවලින් තහවුරු විය යුතුයි..සතියක විතර කාලයක් ඒ සඳහා ගතවෙයි.”  

“නැෂනල් සයිබර් සිකියුරිටි ඔපරේෂන් සෙන්ටර් කියලා රජයේ ප්‍රධාන ඩිජිටල් පද්ධති පැය 24 පුරා නිරීක්ෂණයට මධ්‍යස්ථානයක් ස්ථාපිත කරලා තියෙනවා. දැනට ආයතන 12ක් විතර දැනට ඒ සඳහා සම්බන්ධවෙලා තියෙනවා. තවත් ආයතන 4ක් මේ වනවිට සම්බන්ධවෙමින් පවතිනවා. ඔක්කොම ආයතන 37ක් මේ පද්ධතියට සම්බන්ධ කරනවා.”

“පද්ධතිවලට එන සයිබර් ප්‍රහාර කල්තියා හඳුනාගන්න AI තාක්ෂණ භාවිත කරන හොඳ සොෆ්ට්වෙයා ගෙනල්ලා තියෙනවා.” 

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *