අකුරේගොඩ සුපිරිවෙළෙදසැලක් ඉදිරිපිටදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිද ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගෝනපීනුවලගේ සුනිල් රංජිත් හෙවත් මහසොහොන් කලූ නැමැති වෙඩික්කරු මීට පෙර මනුෂ්‍ය ඝාතන 10 කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇති බවට විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.
මේ වනවිට දින 90 ක රැඳවුම් නියෝග මත බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසයේ භාරව සිටින මහසොහොන් කලූ නමැති මෙම සැකකරු නීිතිඥවරයා ඝාතනය සහ සෙසු ඝාතන සම්බන්ධයෙන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එමෙන්ම නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනයට පෙර දින සැකකරු ගිනි අවි පරීක්‍ෂා කළ බව කියන කොටිකාවත්තේ දෙමහල් නිවස ද, විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පරික්ෂා කිරීමට නියමිතයි.
එලෙස කොටිකාවත්තේ දෙමහල් නිවසකදී ගිනි අවි පරීක්‍ෂා කළ සැකකරු පසුව පන්නිපිටිය ප්‍රදේශයේ ලැඟුම්හලකට පැමිණ ඇති බව සඳහන්. එම ස්ථානයේදී කරන්දෙණියේ සුද්දාගේ සමීපතමයෙකු මාර්ගයෙන් මොහුට අයිස් මත්ද්‍රව්‍ය සහ රුපියල් ලක්ෂයක මුදලක් ලබාදී ඇති බවට ද වැඩිදුරටත් හෙළිවී තිබෙනවා.
දීර්ඝ කාලයක් තිස්සේ කරන්දෙණිය සුද්දා මෙම සැකකරු සමග සමීප සබඳතාවක් පවත්වා ඇති අතර මොහු මීට පෙර කිසියම් අපරාධ ක්‍රියාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇප නියමවූ අවස්ථාවේ එම ඇප මුදල ද ගෙවා ඇත්තේ කරන්දෙණියේ සුද්දා විසින් බව හෙළිවී තිබෙනවා.
ඝාතනය සිදුවූ දිනයේ ද කරන්දෙණිය සුද්දා විසින් මහසොහොන් කලූ නමැති මෙම සැකකරුට දුරකතන ඇමතුම් කිහිපයක් ලබාදී ඇති බවටයි විශ්ලේෂණ වාර්තා මගින් තහවුරු වී ඇත්තේ.
බද්දේගම පදිංචි 46 හැවිරිදි මෙම සැකකරු හිටපු යුධ හමුදා සෙබළෙකු වන අතර 2009 වර්ෂයේ ලබාදුන් පොදු සමා කාලය තුල නීත්‍යානුකූලව යුධ හමුදාවෙන් ඉවත්වූ අයෙකු වනවා
